
ඇය එදින රසායන විද්‍යා බහුවරණ පරීක්ෂණයට මුහුණ දීමට සූදානමින් සිටියා ය. 11.00 පමණ වන විට විභාගය අවසන් වනු ඇත. පිළිතුරු පත්‍රය ලබා දී, මිතුරියන් සමඟින් කතා කරමින් බයිසිකලය ද තල්ලු කරමින් ඇය පාසල් ගේට්ටුව අසලට ළඟා වන විට වේලාව 11.20 පමණ වනු ඇත. 11.22ට පමණ ඇය පාපැදියට නැග පරණ මල් වත්ත පාරට පිවිසෙයි. ඇයගේ පාපැදිය කොළ පැහැති ආසියා වර්ගයට අයත් එකකි. ඇය පාපැදියෙන් ගමන් කරන දෙස වශී වී බලා සිටිය හැකි ය. ඇයට ම ආවේණික වූ අනන්‍යතාවයකින්, පාපැදියේ හැඬලය දෑතින් අල්ලාගෙන ගමන් කරයි. හිසත් සිරුරත් සිරස් ව තබාගෙන ආචාර පෙළපාලියක ගමන් කරන අයෙකු ලෙස ඇය පාපැදිය පදින්නී ය. පාපැදිය පැදගෙන යන විටත්, සුළඟට හසු වන පාසල් නිලඇඳුම නැවතත් යථා තත්ත්වයට පත් කරන විටත්, හිස පිටුපසට නොහරවා පාපැදියේ රඳවා ඇති පොත් බෑගය නොවැටී තිබෙනවා දැයි පරීක්ෂා කරන විටත්, වැසි දිනයේ දී එක් අතකින් කුඩයත් අනෙක් අතින් පාපැදි හැන්ඩලයත් අල්ලගෙන ගමන් කරන විටත්, ඇය සමඟින් ගමන් කරන මිතුරියන්ගේ කවට කතාවලට හැරි කට කොනකින් සිනාසෙන විටත්, ඉදිරියට වැටෙන කොණ්ඩ කෑලි කිහිපයක නැවතත් සකස් කරන විටත්, ඇය තුළ විශේෂ ලාලිත්‍යයක්, ඉවසීමක්, සුන්දරත්වයක් ගැබ් ව තිබුණි. මෙය මා හට සුදුසු නොවන බව දැන දැනත්, ඇයගේ මතකයන් සිතින් ඉවත් කිරීමට නොහැකි විය. මේ කාලයේ දී මා ද විභාගයට සූදානමි විය යුතු ය. මෙලෙස ඇයව ලුහුබැඳීම අනවශ්‍ය දෙයක් යැයි මා හට පැහැදිලි අවබෝධයක් තිබුණි. එහෙත් ඇයගේ මතකයන් සිතින් ඉවත් කරගත නොහැකි ය. සතියකින් ඇයව නොදුටු නිසා මගේ සිත දැඩි කලබලයකින් පසු විය. හිසේ ඇති කෙස් එකිනෙක වැටෙන බව කැඩපතින් මුහුණ බැලු අවස්ථාවේ දී වැටහුණි. අවුරුදු 19 දී ම හිස කෙස් වැටී තට්ටය පෑදෙමින් තිබූණි. මාගේ පියා මෙන්. තට්ටය පැහැදෙන බව ඇය දැක ඇති ද? ඇය කුමකට ද මා දෙස බලන්නේ? ඇයි මාගේ සිතුවිලි මෙලෙස දෝලනය වන්නේ? විභාගයට පාඩම් නොකර ඇයි මා කැඩපත ඉදිරියට වී මෙසේ සිටින්නේ? ඇය කිමද මාව රූකඩයක් ලෙස මෙලෙස නටවන්නේ? මෝඩි.
තොප්පිය හිසේ දමාගෙන හොර පූසෙකු මෙන් මා පාපැදිය අසලට ගියෙමි.
“පුතේ, විභාගයට සතියක්වත් නෑ. කොහෙද මේ රස්තියාදුවේ යන්න හදන්නේ?” යනුවෙන් නිවස පිටුපස සිටි මව ඇසුවා ය.
මව, මාව දුටුවා ය. මින් පසුව මා හට ගැලවීමක් නොවනු ඇත.
“කොහෙවත් නෙවෙයි, සුදර්ශන්ගේ ගෙදරට යන්නේ, ආර්ථික විද්‍යාවේ, පොඩි ප්‍රශ්නයක් ගැන අහන්න…” වාක්‍ය සම්පූර්ණ කිරීමටත් පෙර මව මිදුලට පැමිණියා ය.
“පුතේ, තව ටික දවසයි, මේ දවස් ටිකේ හොඳට පාඩම් වැඩ ටික කළා නම්, පස්සේ කරදරයක් නැතිව ඉන්න පුළුවන්.”
මින්පසුව ඇයගේ කට පාලනය කිරීමට නොහැකි ය. මා කිසිවක් නොකියා පාපැදිය තල්ලු කරමින් ගේට්ටුව අසලට ගියෙමි.
“තේ වක්කරන්නම්, ඒකවත් බීලා යන්න.”
“එපා අම්මේ, මට පරක්කු වුණා.”
ඊට මව පිළිතුරු දීමට පෙර මා ගේට්ටුව පසු කර ගියෙමි.
000
“තාත්තේ, මෙන්න තේ බොන්න.”
තේ බිමට හැලෙයි යන බියෙන් යුතුව කෝප්පයත් සමඟින් එක ළඟ පියවර තබමින් කණ්ණම්මා ඇවිදගෙන ආවා ය. මා පිළිතුරක් දුන්නොත් ඇය තේ බිමට හලනු ඇතැ යි මට සිතුණි. ඇයගේ අතෙහි තිබූ කෝප්පය රැගෙන මේසය මත තැබුවෙමි. අනතුරු ව ඇය ඔසවා මගේ උකුලෙහි වාඩි කරවා ගත්තෙමි. ඇයගේ නාසය කොනිත්තා සිනහා ගැස්සුවෙමි. ඇය ඊට දැඩි ලෙස ප්‍රිය කරන්නී ය. ඇය ද හයියෙන් සිනාසුණා ය.
“වන්ස් මෝර් තාත්තේ.”
නාසය කෙනිත්තීමට පෙර ම ඇය සිනාසුණා ය. ලබන ඔක්තෝබර් මාසය වන විට ඇයට අවුරුදු හතරකි. මා ඇය දෙස පුදුමයෙන් බැලුවෙමි. සෑහෙන උස්මහත් වී ඇතැයි සිතුණි. වයසින් මුහුකුරා ගිය බුද්ධියක්, ඉවසීමක්, ඝනකම් ඇහිබැමි, පොප් කොණ්ඩ විලාසිතාව සියල්ල දෙස බැලීමේ දී ඇයගේ මවගේ ඡායාපිටපතක් යැයි සිතුණි. ඕනෑ ම කෙනෙකුගේ හුරතලයට ලක් වන හුරුබුහුටි පෙනුමක් ඇයට හිමි ව තිබුණි. කළු කෙල්ල.
“තාත්තේ ඔයා, ප්ලේන්ටි ගෙනත් දුන්නාට තෑන්ක් යූ කියලා කිව්වේ නෑනේ, සේ තෑන්ක්ස්.”
ඇයගේ කතාබහ සහ ගතිගුණ මව මෙන් යැයි සිතුණි. සිදු වන අඩුපාඩු පෙන්වා දෙන පුරුද්දත් එලෙස ම ය.
“තෑන්ක් යූ කණ්ණම්මා.” ඇයගේ කම්මුලට තදින් සිපගනිමින් පැවසුවෙමි.
“මයි ප්ලෙෂර්.” යැයි කියමින්, මගේ උරහිස අල්ලා සෙලෙව්වා ය.
ඇය පැහැදිලි ලෙස බි්‍රතාන්‍ය ඉංග්‍රීසි භාෂාව උච්ඡාරණය කිරීමට පුරුදු වී සිටින්නී ය.
“මොකද දැන්ම ම තේ අරන් ආවේ, ඔයාගේ අම්මා කලින් නැගිටලා වගෙයි. අද වහියි වගෙයි.” යනුවෙන් මම පැවසුවෙමි.
“වහිනවා, අරකයි මේකයි කියලා කියන්නේ නැතිව ලෑස්ති වෙන්න කියන්න කණ්ණම්මා, අද සෙනසුරාදා කැන්ගරුවන් බලන්න යන්න කතා වුණා නේ. ඉක්මනින් ලෑස්ති වෙන්න කියන්න.” යනුවෙන් නාන කාමරයෙන් ඇසුණි.
ඩිස්කවරි රූපවාහිනි නාලිකාවේ, කැන්ගරුවන්ගේ වැඩසටහනක් විකාශය වූ දිනයේ සිට කණ්ණම්මා කැන්ගරුවන් බැලීමට කැටුව යන ලෙස ඇවිටිලි කළා ය. ලන්ඩන් සත්තු වත්තට දවසක එක්කගෙන යන ලෙස මා ඔවුන් පැවසුවෙමි. එම දින අද ය. අද යා යුතු ම ය. එසේ නොමැති වුණහොත් මව සහ දියණිය එකා සේ මුහුණ උස්සාගෙන දිනක් පුරා මුරණ්ඩු වනු ඇත.
මා කිසිවක් නොකියා සිටි බැවින් කණ්ණම්මා, මව කියූ දේ පෙරළා කිව්වා ය.
“වැස්ස, අරක මේක කියලා කියන්නේ නැතිව ඔයාට ලෑස්ති වෙන්නලු, අද සන්ඩේ, මට කැන්ගරූ බලන්න ඕනේ. වෙයිට්… අම්මේ, සෙනසුරාදා කියන්නේ සන්ඩේ නේ?”
“ඒක ඔයාගේ තාත්තාගෙන් අහන්න. එයා නේ මහලොකු ලේඛකයෙක් කියලා කියාගෙන ඉන්නේ…”
“තාත්තේ, වට් ඊස් ලේඛකයා?”
“ලේඛකයා කියලා කියන්නේ, රයිටර්ස්ලාට. කතා එහෙම ලියන අයට.”
කණ්ණම්මා එක වර ම කල්පනාවකට වැටුණා ය.
“ඔයා මොන ස්ටෝරි ද ලියන්නේ?”
000
1991 වසරේ වලිකාමම් නගරයෙන් පිටුවහල් වීමට සිදු වූ දිනයක් අපිට උදා විය. ගම්වාසීන් තමන්ට හැකි පමණින් බඩු බාහිරාදිය රැගෙන එකම දිනයක දී ගමින් පිටමං වෙමින් සිටියහ. පාපැදිය පුරවා ගත් බරත් සහ සිතෙහි බියත් සමඟින් රාත්‍රී පුරා නොනැවති ගමන් කළ මා කයිතඩි ප්‍රදේශයට පැමිණෙන විට උදෑසන හත පසු වී තිබූණි. නාවට්කුලි පාලම පසු කළ පසුව කිසිදු අනතුරක් නොමැති බවට බොහෝ දෙනෙක් කතා කළහ. කයිතඩි වන විට තබදය තරමක් පහව ගොස් තිබූණ ද, මින් ඉදිරියට යන්නේ කොහෙ දැයි නොදත් ජනයා ඉතා සෙමින් ඇවිදමින් සිටියහ. මාගේ පාපැදි රෝදයේ හුළං බැස තිබුණ එහෙයින් මා එය තල්ලු කරමින් ඇවිද්දෙමි. අප ගමන කරන පාර දෙපස පැන් දන්සල් කිහිපයක් සංවිධාන කර තිබුණි. ඒවා කෝවිලේ වේල් පෙරහරක ගමන් කරන බැතිමතුන්ට පැන් ලබා දෙන ආකාරයකින් දිස් විය. එහි ජනයා තම නිවසේ ගේට්ටු අසලින් ගමන් කරමින් සිටින අයට නිවසේ තිබූ බාල්දි සහ කෝප්පවලින් ජලය පානය කිරීමට ලබා දෙමින් සිටියහ. සමහර නිවෙස්වලින් පිසින ලද ආහාර පවා බෙදා දුන්නහ. ජනයා එම ස්ථානවල පොරකෑහ. බෙදා දුන් ආහාර අවසන් වූව ද, විශාල පිරිසක් එම පෝලිම්වල ඉතුරු විය. සමහර ස්ථානවල කෝපි සහ තේ පානයට ලබා දුන්නහ.
මා ප්‍රථම වතාවට ඇයව දුටුවේ, මෙවැනි පැන් දන්සලක් අසල දී ය. මෙය සුදුසු ම වේලාව යි. මේ ඇයමයි යනුවෙන් මගේ සිතෙහි සංඥාවක් එම අවස්ථාවේ දී මා හට ලැබුණ මතකයක් නොමැත. මතකයන් නැවතත් සිහිපත් කරගැනීමට නොහැකි අවස්ථාවක අප හමුවුණා යැයි මම සිතමි. මිතුරියන් සමඟ එක්වී ඇය තම නිවස අසල පැන් දන්සලක් ආරම්භ කර තිබුණා ය. එහි මේස දෙකක් විය. එක් මේසයක් මත බාල්දියක් පිරෙන්න දෙහි බීමත්, රිදී පැහැති කෝප්ප සහ සෙම්බුත් තිබුණි. මිදුලෙහි තිබූ තවත් මේසය වට කරගනිමින් බොහෝ අය දෙහි ගෙඩි කපා, ඒවා මිරිකා දෙහි බීම සාදමින් සිටියහ. තවත් පිරිසක් සෝදන ලද කෝප්ප සහ සේම්බු මේසය මත තබමින් සිටියහ. සෙසු අය මාර්ගයේ ගමන් කරමින් සිටින අය වෙත ගොස් දෙහි බීම අවශ්‍ය දැයි විමසා ඒවා ලබා දීමට කටයුතු කළහ.
මා ඇයව දුටුවේ ද, එලෙස දෙහි බීම බෙදා දීමට පැමිණි අවස්ථාවේ දී ය.
“දෙහි බීම බොනවා ද?”
දෙහි බීම සහිත සෙම්බුවක් අතින් ගෙන මඳ සිනහාවකින් මුව පුරවා ගත් ඇය ඇසුවා ය. ඇය කෙරෙහි මාගේ මතකයේ ඇති පළමු සිදුවීම මෙය යි. හිස් බඩින් සිටින මා හට උදෑසන ම දෙහි බීම පානය කිරීමෙන් ඇති වන ප්‍රතිවිපාක ගැන සිතා මා එය ප්‍රතික්ෂේප කිරීමට සිතුවෙමි.
“නෑ… එපා… කමක් නෑ…”
“රෑ පුරා ඇවිදලා මහන්සි ඇති නේ, මේක බීලා විවේක අරන් යන්න.”
මෙපමණ වේලාවක් නොදැනුණ තෙහෙට්ටුව එකවර ම ශරීරයට ආරූඪ විය. දෙපාවල ශක්තිය හීන වන ආකාරයක් දැනුණි. මම ඇයගේ අතෙහි තිබූ සෙම්බුව ගෙන පානය කිරීමට සූදානම් වුණෙමි.
“වරදවා හිතන්න එපා, කට තියන්නේ නැතිව බොන්න. හැමෝම කට තියලා බිව්වොත් නිතර ම හෝදන්න වෙනවා. තරහ වෙන්න එපා.”
ඇඟෙහි තිබූ තෙහෙට්ටු ගතිය හේතුවෙන් ඇය පැවසු කිසිවක් මා හට ඇසුණේ නැත. එපමණක් නොවේ දැඩි නිදිමතක් ද දැනුණි. මා එකවර ම උඩ බිම බැලුවෙමි. ඇය තමන් ගැන ම ලජ්ජාවට පත් වූවා විය යුතු ය.
“නෑ, ඔයා කට තියලා ම බොන්න. ප්‍රශ්නයක් නෑ.”
අවස්ථාව තේරුම් ගත්, මා කට නොතියා ම බීම පානය කළෙමි. මෙය නුපුරුදු ක්‍රියාවක් වූ නිසා බීම පානය කරන විට ‘ක්ලක්… ක්ලක්…’ යන ශබ්දය පිට විය. ගෙල දිගේ පහළට ගමන් කළ දෙහි බීමෙන් මාගේ කමිසය තෙත් විය. දිගට පානය කිරීමට යාමේ දී හුස්ම හිර විය. වෙනත් කෙනෙකුට දෙහි බීම එකක් ලබා දුන් ඇය, මා අසලට පැමිණියා ය. එවිට ඈ මා දෙස බලා සිනාසුණා යැයි සිතමි.
“සෙම්බුවෙන් බොන්න අමාරුයි නම් සිල්වර් කෝප්පයක් ගෙනත් දෙන්න ද?”
මා හට ලජ්ජාවක් ඇති විය.
“නෑ… උදේ පාන්දර නේ… ඒකයි… මම බීලා ඉවරයි… මට ඇති.”
මා ලබා දුන් සෙම්බුව ඇය සිනාසෙමින් ම ලබා ගත්තා ය.
“ඔයා යාපනය ටවුමේ ද?”
ප්‍රශ්නය තුළ යම් ඇනුම් පදයක් ගැබ්ව තිබුණි.
“නෑ, පිරම්බඩි… කොක්කුවිල් පැත්තට වෙන්න.”
“ආහ්.. ඔයාලා ඊයේ උදෙන්ම පිටත් වුණා ද?”
“නෑ… හවස් වෙනකම් මොකුත් දැනගෙන හිටියේ නෑ. හතරට විතර තමා ත්‍රීවීල් එකකින් ඇවිත් කිව්වේ. ඔයාලාට පිටමං වෙන්න කිව්වේ නැද්ද?”
මාගේ පැනය තුළ කේන්තියකුත් ගැබ් ව තිබුණි. සමහර අවස්ථාවල දී අප විඳින දුක ලෝකයේ සිටින සෙසු අයත් විඳවන්න ඕනෑ යැයි සිතීම අපේ පුරුද්දකි.
“නෑ. වලිකාමම්වලට විතරයි කියලා ඇත්තේ. සංවිධානයේ අය සිටින නිසා හමුදාවේ අය මෙහෙට එන්නේ නෑ කියලා මිනිසුන් කියනවා.”
එම විශ්වාසය මා තුළත් තිබුණි.
“බයිසිකලයේ හුළං ගිහින්, ඔයාලාගේ ගෙදර පොම්පයක් තියෙනවා ද?”
අසල්වැසියෙකුගේ නිවසේ තිබූ පොම්පයක් සොයා ඇය පිටත් ව ගියා ය. සූට්කේස් එකක් තබා ගැට ගසා තිබූ පාපැදිය මා වැටට හේත්තු කළෙමි. දැඩි තෙහෙට්ටුවෙන් සිටි මා බිම අසුන් ගත්තෙමි.
“මොකද බිම වාඩිවෙලා ඉන්නේ. ඇතුළට ඇවිත් වාඩිවෙන්න.” හුළං පොම්පයක් අතැති ව පැමිණි ඇය ඇසුවා ය. අනතුරු ව ඇය පාපැදියට හුළං ගැසීමට ගියා ය.
“කමක් නෑ දෙන්න. මං ගහන්නම්.”
එහෙත් ඇය මා හට ඉඩක් ලබා නොදුන්නා ය.
“නෑ, එපා… ඔයා විවේක ගන්න. තනියම ද ආවේ, ගෙදර කට්ටිය කොහෙද?”
මා සමඟ කතා කරමින් ඇය හේත්තු කර තිබූ පාපැදිය කෙළින් කර, පොම්පය රෝදයට සවි කළා ය. ඇය තරම් උස තරුණියක් නොවේ. කොට යැයි කීමටත් නොහැක. දකුණු පාදයෙන් පොම්පය පාගමින්, පැත්තකට ඇලවී සිට මා සමඟ කතා කරමින් බයිසිකලයට හුළං ගැසුවා ය. ඇය ගැන මාගේ සිහියේ ඇති දෙවන සිදුවීම මෙයයි.
“මොකද ගෙදර අයව මතක් වුණා ද?”
මා නැවතත් පියවි සිහියට පැමිණියෙමි.
“අම්මායි අයියායි තවත් බයිසිකලයක ආවා. නාවට්ලකුලි පාලම හරියේ දී එයාලා වෙන් වුණා. කොහොමත් පිටිපස්සෙන් එනවා ඇති. මෙහෙ හිටියොත් එයාලාට එකතු වෙන්න පුළුවන්.”
“තාත්තා?”
“මට අවුරුදු දෙකක් වෙද්දීම එයා මැරුණා.”
“ඕ… සොරි…”
ඇය ‘සොරි’ යැයි පැවසීම මා හට පුදුමයක් ගෙන දුනි.
“කමක් නෑ.”
‘ඊට්ස් ඕකේ’ යනුවෙන් කීමට තිබුණා යැයි මා හට පසුව සිතුණි. එය මඟහැරියා සේ හැඟුණි.
“අපි මෙහෙම කරමු. ඔයාගේ අම්මාගෙයි, අයියාගෙයි නම් ලියලා කාඩ්බෝඩ් එකක් එල්ලමු. එයාලා මේ පැත්තෙන් ආවොත් දකිවි. එහෙම නැත්නම් එයාලාව කවුරු හරි දැක්කොත් කියාවි. මමත් එන අයගෙන් අහලා බලන්නම්. ඔයා ටිකක් නිදාගෙන නැගිටින්න. රෑ පුරා නිදි නැතිව ඇවිදින්න ඇති නේ.”
මා සිටි ස්ථානය අවට නම් සහිත බොහෝ කාඩ්බෝඩ් කැබැලි එල්ලී තිබෙනු දුටුවේ එවිට ය. ඒවායේ බොහෝ අයගේ නම්, ගම් ඇතුළු විස්තර ලියා තිබුණි. මේ සියල්ල ඇයගේ අදහසක් විය යුතු යැයි මා හට සිතුණි. බුද්ධිමත් තරුණියක්. වහා ම තීරණ ගැනීමේ හැකියාවක් ද ඈ සතු යි. නොහඳුනන අයට පිහිට වන්නී ය. ඇයගේ මෙම සියලු ලක්ෂණ එක් කර මම සිත තුළ චිත්‍රයක් ඇඳීමට පටන් ගත්තෙමි.
මම බිම වාඩිවී සිට ඇය දෙස බලා සිටියෙමි. ඇය ඉතා වේගවත් ව තම කාර්යයෙහි නිරත ව සිටියා ය. මාගෙන් විස්තර අසා ඇය ලියූ කඩදාසි කැබල්ල වැටෙහි එල්ලුවා ය. මේසය උඩ තිබූ දෙහි ගෙඩි අවසන් වී තිබෙනු දුටු ඈ දෙහි ගෙඩි කඩාගෙන එන ලෙස කුඩා පිරිමි දරුවෙකුට පැවසුවා ය. සීනී අවසන් වී තිබෙනු දුටු ඈ අසල නිවෙසකට දිව ගොස් සීනී රැගෙන ආවා ය. දෙහි බීම රැගෙන මාර්ගයේ අවතැන් ව ඇවිද යන අයගේ ගමනට ඈ බාධා කළා ය. වැටෙහි විස්තර ඇති බව ද ඇය ඔවුන්ට පැවසුවා ය. මෙවැනි රාජකාරි අතරතුරත් ඇය මා දෙස බලා සිනාසීමට අමතක කළේ නැත. සමහර විට මා ඇය දෙස බලා සිටීම ඇයට අපහසුවක් ගෙන දුන්නා විය හැකි ය.
වරක් ඈ මා දෙස බලා සිනාසෙන විට ඇයව කතාවට අල්ලා ගත්තෙමි.
“මොකක ්ද ඉස්කෝලේ, මෙහෙ ද ඉගෙනගන්නේ?”
“නෑ. මම සුණ්ඩකුලි.”
එය ඇසූ විගස නිවීමට ආසන්න ව තිබූ පහනට තෙල් බින්දු කිහිපයක් වැටුණා මෙන් මාගේ මුහුණ දීප්තිමත් වන්නට විය.
“එහෙම ද… මම සෙන්ට් ජෝන්ස්. ඒ කියන්නේ අපි හැමෝම එක ම කට්ටිය.”
“හිතාගෙන ඉන්න.”
ඇය මා දෙස නොබලා ම පිළිතුරු දුන්නා ය. ඇය ඉදිරියේ වැඩියෙන් කතා කළා යැයි මා හට සිතුණි. මම කතාව වෙනස් කළෙමි.
“කොහොම ද මෙහෙ ඉදන් සුණ්ඩකුලිවලට යන්නේ, බස් එකෙන් ද?”
“බයිසිකලයෙන් තමා. මෙහෙ කොහෙ ද බස් තියෙන්නේ.”
මම සිනාසුණෙමි.
“මට සුණ්ඩකුලියේ ඉදන් මෙහෙට එන්න රැයක් ගත් වුණානේ.”
“තව ටික දවසකින් මේ ප්‍රශ්න සේරම විසඳෙයි…”යනුවෙන් මුහුණට ශෝකයක් ආරූඪ කරගත් ඇය, මා දෙස හැරි ඇය පැවසුවා ය.
“ඔයා කියපු ගමන් හැමදෙයක් ම හරි ගියා වගේ දැනෙනවා.”
මාගේ ප්‍රකාශයෙන් ඇයගේ කේන්තිය වැඩි වුණා දැයි නොදනිමි. නමුත් ශාන්ත ජෝන් පාසලේ සිසුවෙකු කළ යුතු දෙය යි මා කළේ. එහෙත් ඇය ඊට කේන්ති ගත්තේ නැත.
“හ්ම්… ඔයාගේ බයිසිකලය වැටෙන්න යනවා වගෙයි. ගිහින් අල්ලන්න.”
එසේ පැවසූ ඇය, අතෙහි තිබූ සෙම්බුව මාර්ගයෙන් ගමන් කරමින් සිටි අයෙකුට දිගු කළා ය. ඉතා තෙහෙට්ටු ගතියක් ඇති ව පැමිණ සිටි එම පුද්ගලයා සමඟ කතා කරමින් සිටිය ද, තම සිනහව පාලනය කරගැනීමට ඇය අසමත් වූවා ය.
මේ සිනහව වෙනුවෙන් ජීවිත කාලය පුරාවට පිටුවහල් විය හැකියි.
000
ඇය නා සූදානම් ව පැමිණියා ය.
“ඒයි… ඉක්මන් කරන්න. කතාව අවසන් කරලා ලෑස්ති වෙන්න. අද වහින්නත් ඉඩ තියෙනවා, කලින් ම ගිහින් එමු.”
හිසට තට්ටු කරමින් ඇය මා අසලින් ගියා ය. මම ඒ ගැන තැකීමක් නොකර දිගටම ලියමින් සිටියෙමි.
අප ලන්ඩන් නගරය වෙත පැමිණ මේ වන විට අවුරුදු හතක් ගතව තිබේ.
අසල්වැසියන්ගේ, ඥාතීන්ගේ විශ්වාස බොරුවක් නොකර ඉතා සාර්ථක අයුරින් මම උසස් පෙළ විභගය අසමත් වුණෙමි. අනතුරුව මා සතුව පැවැති එකම විකල්පය වූයේ කෙසේ හෝ විදේශගත වීම ය. මවගේ තැල්ල සහ අපගේ ඉඩම විකුණා එකතු කරගත් මුදල දන්නා අයෙකු වෙත ලබා දී, චෙන්නෛ, මුම්බායි, සෝමාලියා, මලාවි, ඉතාලි සහ ප්‍රංශය හරහා අවසානයේ දී කන්ටේනරයක් ආධාරයෙන් ලන්ඩන් නගරය වෙත පැමිණියෙමි. වසර කිහිපයක් පුරා පැවති නඩු විභාගවලින් අනතුරු ව මා හට එක්සත් රාජධානියේ සරණාගත භාවය හිමි විය.
මම මෙම මාර්ගයෙන් ලන්ඩනය වෙත පැමිණෙන විට, ඇය වෙනත් මාර්ගයකින් ලන්ඩනයට ළඟා වූවා ය. මා වාණිජ අංශයෙන් අසමත් වූවත්, ඇය ඉගෙනීමෙන් දස්කම් පෑවා ය. යුද්ධය පැවැතිය ද ඇය සාමාන්‍ය පෙළ විභාගයේ විශිෂ්ට සම්මාන 7ක් ලබාගත්තා ය. උසස් පෙළ විභාගයත් විශිෂ්ට ලෙස ජය ගත්තා ය. එපමණක් නොවේ ලන්ඩන් උසස් පෙළ විභාගය ද සමත් වූවා ය. නිව්කාසල් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යත්වයක් ලැබූ ඇය එංගලන්තයට පැමිණ වෛද්‍ය විද්‍යාව හැදෑරුවා ය. අද ඇය ලන්ඩන් නගරයේ සිටින කීර්තිමත් ප්‍රසව සහ නාරී විශේෂඥවරියකි. බොහෝ උඩඟු සහ මුරණ්ඩු ගතිගුණ තිබූණ ද, ඇය හොඳ කෙනෙකි. මා අද මෙම තත්ත්වයේ සිටීමට හේතුවත් ඇයයි. තාවකාලික ව හෝටලයක සේවය කරමින් සිටි මා වාණිජවේදී උපාධිධාරියෙකු කර ස්ථිර රැකියාවක් සොයා දීමට කටයුතු කළේ ද ඇය යි. මා හට ලිවීමේ උනන්දුව ඇති කළේ ද ඇය යි. සෑම විටක ම කෙළින් කතා කරන බැවින් නිතර ම බැණුම් ඇසීමටත් ඇය සිදු විය. ඇයට ම ආවේණික වූ අදහස්වලින් ඇය පෝෂණය වී සිටියා ය. ඇයට දෙවියන් පිළිබඳ විශ්වාසයක් නොතිබූණ බැවින් ඇදහීම් සිදු කළේ ද නැත. දෙවියන් සිටියත්, ඔවුන්ට විශ්වය පාලනය කිරීමේ හැකියාවක් නොමැත යන මතය ඇය දැරුවා ය. දෙවියන් ස්වාධීනයි නම් මෙම විශ්වාසයත් ස්වාධීනයි යනුවෙන් ඇය නිතර ම පවසන්නී ය. ඇස් ලොකු කරමින්, ඇය සිදු කරන විග්‍රහ දෙස දවස පුරා ම බලා සිටිය හැකි ය. එහෙත් සුපුරුදු පරිදි ඇය පවසන කිසිවක් මට වැටහෙන්නේ නැත. මෙයත් නොදන්නා දෙවියන්ට අපව කැප කරනවා සේ මම ද ඇයට යටත් ව සිටිමි. ඇය මා හට දැඩි ලෙස ආදරය කරන බව මම දනිමි. නමුත් ඇය එය එළිපිට පෙන්වීමට අකැමැත්තක් දැක්වූවා ය. ඇය සෑම විට ම මා සමඟින් යක්ෂාරූඪ ව සිටියා ය. මෙම කේන්තිය මා සමඟ පමණයි.
හිසෙහි පිටුපස රිදුම් දුනි.
“එක්කෝ ලියන්න ඕනේ, නැත්නම් පිටත් වෙන්න ඕනේ. මේ විදිහට කම්මැළි ව වාඩිවෙලා ඉන්න එපා.”
“ඉවසන්න, අපි ගැන ලියද්දී කියවන අයට ඉන්ස්ප්‍රේෂන් එකක් ඇති වෙන්න එපාය, කල්පනා කරලා නේ ලියන්න ඕනේ.”
“අපි ගැන ද ලියන්නේ, මොනවා ද ලියන්නේ? කෙල්ලෙක් පස්සේ ඇවිදලා විභාගය අසමත් වෙලා හොරෙන් ලන්ඩන් ආපු එක ගැන ද ලියන්නේ? හොඳට ලියන්න අනගත පරපුරේ අය කියවලා ඉන්ස්පයර් වෙයි.”
“අවුරුදු පහක් තිස්සේ ඇවිත්, බලාගෙන ඉඳලා මොකුත් නැති නිකමෙක්ට දොස්තර කෙල්ලෙක් කැමැත්ත දුන්න එක ජයගැනීමක් නේ…?”
“ජයක් තමා, ලියන්න. සම්මාන ලැබෙයි.”
000
මම පරණ මල්වත්ත වීදියට වී බලා සිටියෙමි. පේළියට සිටවා තිබූ කොහොඹ ගස් අතුවල වවුලෝ එල්ලී සිටිති. නගරයේ තිබූ ඝෝෂා සම්බන්ධයෙන් ඔවුන්ට තැකීමත් නොමැත. ඉඳහිට වවුලෙක් හෝ කිහිප දෙනෙක් පියාසර කළ ද, විගසින් යළිත් සිය ස්ථානය වෙත යති. නිදනා විට දී වවුලෝ කුඩා ශබ්දයක් පිට කරති. වවුලන් නිදාගන්නා විට දී පමණක් කණ්ඩායමක් ලෙස සිටිය ද, රාත්‍රියේ දී ආහාර සොයා යන අවස්ථාවේ දී තනියෙන් පියාසර කරති. නිදා සිටින වවුලන් එකවර අවදි වී පියාසර කිරීමට පටන් ගතහොත් මුළු නගරය දෙදරුම් දෙනු ඇතැයි මට හැඟුණි. එහෙත් වවුලෝ කිසිදු අවස්ථාවක එසේ පියාසර නොකරති. ගිනිඅවියක් පත්තු වන හඬක්, ශෙල් පිපිරීමක් හෝ ගුවනින් බෝම්බ වැටීමක් සිදු වූ අවස්ථාවක දී පමණක් උන් එකමුතු ව අහසට නැගි ඝෝෂා කරති. අනතුරුව නැවතත් කොහොඹ අත්ත මතට වී නිදා ගනිති.
සුණ්ඩකුලි ටයි පටියක් පරණ මල්වත්ත වීදියට ඇතුළු වන අයුරු මම දුටුවෙමි. විභාගය අවසන් වූ ඇය තවත් ස්වල්ප වේලාවකින් මා සිටින දිශාවට එනු ඇත. මා දුටු විට ඇය කුමක් කරනු ඇද්ද? සිනාසෙයි ද? නොදැක්කා සේ යයි ද? මුහුණ හරවා ගනියි ද? මේ විභාග පැවැත්වෙන කාලය බැවින් ඇය තුළ ඒ සම්බන්ධයෙන් බියක් ද ඇති ව තිබේ. මා මෙලෙස පාරේ සිටගෙන සිටිනවාට ඇය අකැමැති ය. එහෙම කියා නැවත ආපසු යාමට හැකි ද? ඇය කැමැති දේවල් විවාහයෙන් පසුව සිදු කළ හැකි ය. මම යට කර සිටි කමිසය එළියට ඇද දැමුවෙමි. එක් කකුලක් බිම තබාගෙන මා පාපැදිය මත වාඩිවී ඇය වෙනුවෙන් බලා සිටියෙමි. අත්තක එල්ලී සිටි වවුලෙක් පියඹාවිත් මාගේ යටිබඩට සපා කමින් තටු ගැසුවේ ය.
000
ඇසීමට ලජ්ජ සිතුණත්, වෙනත් ක්‍රමයක් නොමැති නිසා ඇයගෙන් ඇසීමට තීරණය කළෙමි.
“වැරදියට හිතන්න එපා, අපි සාවකච්චේරියේ කාවවත් දන්නේ නෑ, මේ පැත්තේ ගෙයක් ලැබෙයි ද? පොඩි… ඇනෙක්ස් එකක්… පොඩි කාමරයක් වුණත් ප්‍රශ්නයක් නෑ.. අපිට උදව්වක් විදිහට කරන්න.”
ඇය කල්පනා කළා ය.
“මේ වෙලාවේ නතර වෙන්න තැනක් කොහොම ද හොයන්නේ? හැම ගෙදරක ම කට්ටිය පිරිලා ඇත්තේ. නෑයන්ට නතර වෙන්නවත් ඉඩ නෑ. ඔයාලා පලෛ පැත්තට ගියා නම්…”
මාගේ මව සහ අයියා දෙස ඈ බැලුවා ය. ඇයට වාක්‍ය සම්පූර්ණ කිරීමට නොහැකි විය. ගමන් තෙහෙට්ටුව දැඩිව දැනුණ මාගේ මව වැට අයිනක සාරිය එළා නිදාගෙන සිටියා ය. අයියා ද සූට්කේස් එකට හේත්තු වී නිදාගෙන සිටියේ ය. මුහුණ මත වැසූ මැස්සාව එළවීමටත් නොහැකි ආකාරයේ තද නින්දක ඔහු පසු විය.
“කෝකටත් ටිකක් ඉන්න… අම්මාගෙන් අහලා එන්නම්.”
ඇය ගමන් කළ වේගයට කෙසේ හෝ මවගේ අනුමැතිය ගනු ඇතැයි විශ්වාස කළෙමි. නිවස තුළට යන ඇය දෙස බලා සිටියෙමි. ඇය ඇඳ සිටියේ සාමාන්‍යයෙන් නිවසට ඇඳීමට කපු රෙදිවලින් මසන ලද ඇඳුමකි. උදෑසන සිට පැන් දන්සලටත් නිවසටත් විටින් විට ඇවිදීම හේතුවෙන් ඇයගේ දෙපා දූවිලිවලින් නෑවී තිබුණි. ඇය මෙන් ම ඇයගේ පොප් විලාසිතාවට කැපු කොණ්ඩය නිදහසේ පැද්දෙමින් තිබුණි. ගෙලෙහි හෝ අතෙහි කිසිදු රන් ආභරණයක් ඇය පැලඳ නොසිටියා ය. කනෙහි පමණක් කුඩා දෙයක් දිලිසෙමින් තිබුණි.
ඇය නැවත හැරී ආවා ය. ඇයගේ මුහුණෙහි එක් පැත්තක කේන්තියක් සහ අනෙක් පැත්තෙහි වරදකාරී හැඟීමක් ද දක්නට ලැබුණි.
“අම්මාට කේන්ති ගියා. දැනට ම ගෙදර පවුල් පහක් ඉන්නවා. ඔයාලාත් ආවොත් පිරිමහගන්න අමාරුයි කියලා කියනවා. මෙහෙ බොන්නත් හොඳ වතුර නෑ. කට්ටිය වැඩි වුණොත් ටොයිලට් එකත් පිරෙයි කියලා කිව්වා.”
තමන් ලබා දුන් පිළිතුර සම්බන්ධයෙන් ඇය ද සෑහීමකට පත් නොවන බව මට දැනුණි. එහෙත් කයිතඩි ප්‍රදේශය එතරම් පහසුවෙන් අතහැර යාමට මට සිත් නොවී ය.
“අපි අයිනක ඉන්නවා. කිසි ම කරදරයක් වෙන්නේ නෑ. හැමෝටම උදව් කරනවා. මේ සෙන්ට් ජෝන්ස්කාරයාට උදව් කරන්න බැරි ද?”
ඇය මා දෙස ඔරවා බැලුවා ය. මෙවැනි අවස්ථාවක දී මා කෙසේ ද මෙලෙස විහිළුවෙන් කතා කරන්නේ යනුවෙන් ඇය සිතුවා විය හැකි ය.
“කාට වුණත් මං උදව් කරන්න ලෑස්තියි. ටිකක් ඉන්න, මං අම්මාගෙන් ආයෙත් සැරයක් අහන්නම්.”
අම්මා එකඟ වුවහොත් පමණක් ඇති, ජීවිතය පුරා ම කයිතඩියට වී සිටිය හැකි ය.
ඇය නිවස තුළට යන දෙස බලා සිටියෙමි.
000
කණ්ණම්මා නැවතත් ඇතුළට පැමිණියා ය. ඇය හිස නා ජැකට්ටුව ඇඳ ගමන යාමට සූදානමින් සිටියා ය.
“මොකද තාත්තේ, තවමත් ලෑස්ති වුණේ නැද්ද? අපිට පරක්කු වෙනවා.”
“බෑ… ටික ඉන්න… අවුල් කරන්න එපා.”
ඇය පරිගණකයට එබී බැලුවා ය.
“මට ඔයාගේ කතාව කියන්නේ නැද්ද?”
“ඔයාට තේරෙන්නේ නෑ. මම ලියන්නේ, අම්මා, තාත්තා වගේ ලොකු අයට.”
“එහෙම නම් මට කතාවක් ලියන්නේ නැද්ද?”
“ලියන්නම්. ඊළඟ කතාව ඔයා වෙනුවෙන් තමා. හරි ද?”
“ඒකේ සිංහයෙක් එනවා ද?”
“එයි… අලියෙකුත් එයි.”
“එහෙම නම්, පෙපා බිග්.”
“අපි ඌවත් එකතු කරමු.”
“ෂෝට් ස්ටොරි ලියන්න එපා තාත්තේ, ලාස්ට් ස්ටොරි ජක්කි එකේ, අර සිස්ටර් මැරෙනවා නේ.”
“කවුද ඔයාට ඒ කතාව කිව්වේ?”
“අම්මා…”
එය ඇසීමෙන් මම පුදුමයට පත් වුණෙමි. කතාව නොකියවූ බව පැවසූ ඇය එම කතාව කියවා දරුවා සමඟත් බෙදාගෙන තිබූණා ය. මේ කතාවත් කණ්ණම්මාට කියාදෙනු ඇත. හොඳින් පැහැදිලි කර කිවහොත් කණ්ණම්මා තේරුම් ගනු ඇත. මෙවැනි දෑ කරන ඇය මා සමඟ පමණක් එකිනෙකට තර්ක කරයි. මා සමඟ දබර වීම ඇයට කජු කනවා මෙන් පහසු දෙයකි. ඇය ම දබර ඇල්ලීමට පටන් ගෙන ඇය ම දබරය අවසන් කරන්නී ය. මා සමඟ පමණක් මෙපමණ විරසක ව සිටින්නේ ඇයි දැයි සිතු වාර අනන්ත ය.
“සර්, සිහිය කොහෙ ද තියෙන්නේ, කණ්ණම්මා තාත්තාට කරදර නොකර ඉන්න. ඒක ලියලා ඉවර කරනකම්.”
සීසීටීවී කැමරාවෙන් බලා සිටියා මෙන් ඇය මාගේ සිත හඳුනගත්තා ය.
000
දුර සිට ම ඇය මාව දුටුවා ය. මුහුණ අනිත් පැත්තට හරවා ගත්තා ය. මිතුරියන් සමඟ පැමිණි නිසා විය යුතු ය. එසේ නොමැති නම් මා සමඟ කේන්තියකින් සිටිනවා විය හැකි ය. ඇය මාව දුර සිට දැකීමත් ප්‍රමාණවත්. ඔවුන් මා පසුකර ගිය පසු අඩි සියයක දුරකින් ලුහුබැඳීම ආරම්භ කළෙමි. ඇයගේ අසලට ගොසින් කතා කිරීමට ධෛර්යයක් මා සතු ව නොතිබුණි.
හඳුනන කවුරුන් හෝ දුටුවහොත් මවට පවසනු ඇත. පැවසීමට ලජ්ජා විය යුතු ය. මෙය ඇසීමෙන් මව අතට හසුවන දෙයකින් පිට පැළෙන තුරු පහර දෙනු ඇත. කෑගැසීමටත් නොහැකි බැවින් එය ඉවසාගෙන සිටිය යුතු ය. ඇයගේ මිතුරියන්ගෙන් කෙනෙක් අහඹු ලෙස හැරී මා දෙස බැලුවා ය. එහෙත් ඇය හැරී බැලුවේ නැත.
ඇය ඇතුළු මිතුරියන් පිරිස වෙනදා ගමන් කරන මාර්ගයෙන් ගමන් නොකර වෙනත් මාර්ගයක ගමන් කළහ. මීට දිනකට පෙර හමුදා කැබ් රථයක ගැටී එම ස්ථානයේ දී ම මියගිය සිසුවියගේ නිවසට යන බව මා හට පසුව වැටහුණි. මම මරණ ගෙදර තුළට නොගොස් මඳක් දුරින් නතර වී ඇයගේ පැමිණීම අපේක්ෂාවෙන් බලා සිටියෙමි.
000
විශාල සතුටක් මුහුණේ පුරවාගෙන ඇය මා සිටි ස්ථානය වෙත පැමිණියා ය.
“අම්මා කැමැති වුණා. ඔයා ශාන්ත ජෝන් කෙනෙක් නේ, ඔයාට කැමැති නොවී වෙන කාට කැමැති වෙන්න ද?” යැයි පවසමින් ඇය සිනාසුණා ය. ඇයගේ ශරීරයේ තිබූ නහරවල් හය ලක්ෂයක ම ඇනුම් පද ගමන් කරමින් තිබුණි. එහෙත් මාගේ සිරුරේ තිබූ නහරවල් සංඛ්‍යාව හය ලක්ෂ එකකි.
“ඔයාගේ අම්මාත්, සුණ්ඩකුලි ද?”
ඊට ඇය වැටි වැටී සිනාසුණා ය. මම ඉතාමත් සතුටින් සිටියෙමි. නින්දෙන් අවදි වූ මව සහ අයියා මා දෙස සැකයෙන් බැලූ හ. එහෙත් ඔවුන්ට කළ හැකි දෙයක් නොවී ය. වැටට හේත්තු කර තිබූ පාපැදිය කෙළින් කර එය තල්ලු කරමින්, ගේ මිදුලට ඇතුළු වුණෙමි. එම නිවස තුළ ඉඩක් නොතිබූණි. අවම වශයෙන් විසි දෙනෙක් පමණ නිවසේ ලැගුම් ගෙන සිටියහ. මිදුලේ ද පිරිසක් කුඩා පැලක් සාදමින් සිටියහ. ඇය නිවසේ නතර වීමට අවසර ලබා දුන්නේ මා වෙනුවෙන් නොවන බව එවිට මට පැහැදිලි විය. මෙය ඇයගේ ස්වභාවය යි. වෙනත් කවුරුන් හෝ පැමිණ ලැගුම් ගැනීමට අවසර ඉල්ලා තිබුණ ද, ඔවුන් ඊටත් අනුමැතිය ලබා දෙනු ඇත. එය සාවකච්චේරි මිනිසුන්ගේ ස්වභාවය යි. මොවුන්ට යාපන නගරයට පිටුවහල් වීමට සිදු වූයේ නම්, යාපන නගරයේ පිරිස් නිවාසවල සිටින සුනඛයින් ලිහා දමනු ඇත. ගේට්ටු වසා ඉබ්බන් දෙදෙනකු දමනු ඇත.
000
ඇයගේ ඉවසීමේ සීමා ඉක්මවා ගොස් තිබුණි.
“ඕයි… ‘ඕල් එෆ්’ අපි අද කැන්ගරූන් බලන්න යනවා ද නැද්ද? මම ඇඳුම් ටික මාරු කරන්න ද?”
මා උසස් පෙළ විභාගයේ විෂයන් හතර ම අසමත් වීම ගැන ඇය නිතර ම විහිළු කළා ය.
“ඉවසන්න ඩොක්ටර්, අපේ කතාව නිසා පිහියක් උඩ ඇවිදිනවා වගේ දැනෙනවා.”
“ඔයා මොනවා ද මේ ලියන්නේ?”
“නෑ… අපිව දන්න අයත් මේක කියවන්නයි යන්නේ, ලියලා තියෙන හැමදෙයක් ම ඇත්තට සිදු වෙලා කියලා හිතන අයත් මේක කියවයි. අපිව හමුවුණ දවසක ප්‍රශ්න දහක් අහයි.”
“පිස්සා, මොනවා ද ලියන්නේ, නමත් දාලා ලියන්න පිස්සු ද?”
“නෑ… නම ලිව්වේ නෑ, දාන්න හොඳ නමක් තියෙන්න එපැයි…”
“වට්?”
අප දෙදෙනාගේ කතාව අතරට කණ්ණම්මා පැමිණියා ය.
“තාත්තේ, අම්මේ, සයිලන්ස් ප්ලීස්.. මමත් කතාවක් ලියන්න යනවා.”
“ඔයාත් ද? මැඩම් මොනවා ද ලියන්න යන්නේ?”
“සස්පන්ස්, ෂ්..”
000
මම පිටතට වී බලා සිටියෙමි. වේලාව දහවල් එකට ආසන්නව තිබුණි. මා හට කුසගින්නක් ද දැනුණි. පාන් කෑල්ලක් කා පැමිණෙන්න තිබුණා යැයි හැඟුණි. අඩුම තරමින් මව කියූ ආකාරයට ප්ලේන්ටීයවත් පානය කරන්න තිබුණා යැයි සිතුවෙමි. ප්‍රේමය කරන පිරිස් හට කුසගිනි ඇති නොවන බව කවියෙකු වූ කණ්ණදාසන් කියූ මතකයක් ඇත. ඔහුට යාපනයේ අහස යට සිට ගන්නැයි කියා ප්ලේන්ටීයක්වත් නොදී සිටියා නම් මෙලෙස කිසිදු දිනක නොපවසනු ඇත.
ඇයගේ මිතුරියන් එකිනෙකා මරණ ගෙදරින් පිටතට පැමිණියහ. ඇය නැවතත් මා දෙස බැලුවා ය. කතා කරමු ද? එපා. මීට පෙර අවස්ථාවක දී ‘අමතක කළා ද?’ කියා ඇසූ විට ඇය තම වම් පාදයෙහි පැලඳ සිටි සපත්තුවෙන් පොළොවේ ගස්සා දූහුවිල්ල ඇවිස්සුවා ය. මෙවර ඇයගේ මිතුරියන් සිටින ස්ථානයක දී එම සිදුවීමට යළිත් මට මුහුණ දිය නොහැකි ය. මාගේ සිතුවිල්ල තේරුම් ගත් ආකාරයට ඇය මාගෙන් ඉවත් ව ඈතට ගමන් කරමින් සිටියා ය. මම උත්සාහය අත් නොහැරියෙමි. මෙයත් එක් බලාපොරොත්තුවක් පමණ ය. ඇයගේ පිටුපසින් යාමට ලජ්ජා විය යුතු නැත. මෙම අවස්ථාව මඟහැරියහොත් ජීවිත කාලයට ම දුක්වෙන්න වේවි. ඊට වඩා සටන් කිරීම හොඳ යැයි සිතුණි.
මා කල්පනා කරමින් සිටි නිසා ඇය මා අසලට පැමිණි ආකාරය නොදුටුවෙමි.
“මේ බලන්න, මගේ පස්සෙන් මීට පස්සේ එන්න එපා. මේක එපා. කිව්වාම අහන්න. මට ආදරය කරන්න බෑ. ඔයාට මේක තේරෙන්නේ නෑ. ප්ලීස්.”
ඇය මාගේ ඇස් දෙස බලමින් කතා කළා ය. මේ විදිහට සිදු කරන ඇයගේ කතා රසවිඳීමට නොහැකි ය. එසේ රසවිඳීමට උත්සාහ කළොත් ඇයගේ කේන්තිය තවත් වැඩි වනු ඇත.
“මම මේ ඇත්තට ආවේ… අම්මා පල්ලා…”
“ඒ මදිවට දිවුරන්නත් එනවා. විභාගය තියෙන වෙලාවේ පාඩම් නොකර ඇවිත් මටත් කරදර කරනවා. මේක ද ඔයාගේ ආදරය? ඔයා කොහොමද වගකීමකින් පවුලක් නඩත්තු කරන්නේ..? දිස් ඊස් ජස්ට් ඇන් ඉන්ෆැක්ෂුවේෂන්. ටික දවසයි. ඊට පස්සේ සේරම හරි යයි. ඇන්ටි ඔයා ගැන ලොකු විශ්වාසයක් තියාගෙන ඉන්නවා.”
“නමුත්, මම ඔයාවයි විශ්වාස කරන් ඉන්නේ.”
මෙය වගකීම් විරහිත ප්‍රකාශයක් බව මම දනිමි. නමුත් එවිට එයයි කටින් පිට වූයේ. මම රමණිචන්ද්‍රන්ගේ නවකතා වැඩියෙන් කියවමි. නමුත් ඇයගේ කියවීම් ඊට හාත්පසින් ම වෙනස් ය. ඇය මහ කවි භාරදියාර්ට දැඩි කැමැත්තක් දක්වයි. පාසල් විෂය නිර්දේශයේ නොතිබූ ඔහුගේ කවි වූවත් ඇයට කටපාඩම් ය. ඇයගේ මව ඉංග්‍රීසි සාහිත්‍ය ගුරුවරියක බැවින් නිවසේ කබඩ් පිරි තිබුණේ, ඉංග්‍රීසි පොත්වලින් ය. කකුල් පිපිරෙනවා යැයි කියමින් ඔවුහු නිවසටත් සෙරෙප්පු දමාගෙන සිටිති. මම වැසිකිළියට යන විට ද සෙරෙප්පු භාවිත නොකරමි. මෙසේ සිටින මට ඇය කෙසේ ආදරය කරයි ද? කුමන විශ්වාසයකින් ද මා ඇයව ලුහුබඳින්නේ?
මම එක් නිමේෂයක් පමණ වෙනත් කල්පනාවකට වැටුණෙමි. ඒ ක්ෂණයෙන් ඇය පාපැදියට නැග ගමන් කරමින් සිටියා ය. මට කිසිවක් තේරුම් ගැනීමට නොහැකි විය. මා අසලට පැමිණි ඇය ඉතා වේගයෙන් බැණ වැදී, නැවත ගියා ය. ඇත්තට ම මා නිකමෙක් ද? සෑම කෙනෙක් ම විභාගයට පාඩම් කරන විට මම මහපාරේ සිටගෙන සිටිමි. ඇය පැවසුවේ සත්‍යයකි. ඇයව ලුහුබැඳීමට මා හට ඇති සුදුසුකම කුමක් ද…? නැවතත් ඇයගේ පසුපසින් ගියහොත් ඇයට කේන්ති යනු ඇතැයි මා හට හැඟුණි. සිත් තැවුලෙන් නිවස දෙසට පාපැදිය හරවා පැද්දෙමි.
ඇය පැවසූ දේ නැවතත් මාගේ දෙසවන් තුළ රැව් දෙමින් තිබූණි.
“මේක ද ඔයාගේ ආදරය…? ඔයා කොහොම ද පවුලක් නඩත්තු කරන්නේ? දිස් ඊස් ජස්ට් ඇන් ඉන්ෆැක්ෂුවේෂන්. ටික දවසයි. පස්සේ හරි යයි. ඇන්ටි ඔයාව තමා විශ්වාස කරගෙන ඉන්නේ.”
අඹ ගස් හන්දිය පසු කර යන විට මාගේ බුද්ධියට යම් දෙයක් පැහැදිලි විය. එනම් මා අනාගතයේ දී පවුල කෙසේ ද බලාගන්නේ යන සැකය ඇය තුළ මතු වී තිබේ. ආදරය මෙසේ නොවේ යැයි ඇය පැවසුවා ය. පාඩම් කරන ලෙස අවවාද කළා ය. අම්මාගේ විශ්වාසය මා යනුවෙන් පැවසු කතාවෙත් යටි අරුතක් තිබේ. සියල්ල එහි ගැබ් ව තිබේ. මම මෝඩයෙක්. මෙය තේරුම් නොගෙන හැරුණා නොවේ ද? මේ වන විට ඇය බොහෝ දුර ගොස් සිටිය යුතු ය. පසුපසින් ගිය ද ඇයට ළං විය නොහැකි ය. ලුහුබැඳ ගියා කියා ඇති සෙතේ කුමක් ද? නැවතත් ඇය කේන්ති ගනු ඇත. මා හට මෙය ප්‍රමාණවත්. නිවසට ගොසින් පාඩම් කරමු යැයි සිතුවෙමි. විවාහය අවසන් වූ පසුව කෙසේ හෝ ලන්ඩන් බලා යා යුතුයි. ඇයව වෛද්‍යවරියක කළ යුතු යි. හොඳ රැකියාවක්… ලස්සන දරුවන්… ඇය මෙන් ගැහැනු දරුවෙක්… මොකක් ද තබන නම, ස්ටයිලිෂ් නමක්. වර්ෂා කියා තබමු. නමෙහි ‘ෂ’ අකුරක් තිබේ නම් උච්ඡාරණයේ දී අලංකාරයක් එක් කරයි. මවගේ නමෙත් ‘ෂ’ අකුරක් තිබේ. එහෙත් ඇය ඊට කැමැති වෙයි දැයි නොදනිමි. අනවශ්‍ය ප්‍රශ්න ඇති නොකර ඇයගේ කැමැත්තට ඉඩ දිය යුතු යැයි සිතුවෙමි.
000
“කණ්ණම්මා, තාමත් කතාව ලියනවා ද? තාත්තා කතාව ඉවර කරන්නයි යන්නේ.”
“ඉවරයි තාත්තේ, ඔයා බලනවා ද? ඔයා වගේ බිග් කතාවක් නෙවෙයි ලිව්වේ, වෙරි ස්මෝල් ස්ටෝරි.”
කණ්ණම්මා, තමන් ලියමින් සිටි කඩාදාසි කැබැල්ල රැගෙන ආවා ය.
“අයියෝ… එච්චර ඉක්මනට අරන් ආවා ද? ඉන්න තාත්තාත් කතාව ඉවර කරලා එන්නම්.”
“නෝටි තාත්තා.”
000
ඇය නැවත වතාවක් හැරි බැලුවා ය. පේන තෙක් මානයක කිසිදු පාපැදියක් තිබුණේ නැත. ඇත්තට ම ඔහු ලුහුබඳින එක නතර කරලා ද…? ඇය පාපැදිය පාගන වේගය අඩු කළා ය. අවසානයේ දී පාපැදිය නතර කර බලා සිටියා ය. ඔහු පැමිණියේ නැත.
ඔහු වගේ පිස්සෙකුව මේ ලෝකයේ දැකිය හැකි ද? මා යන ලෙස පැවසූ පමණින්, ඔහු පිටත්ව ගියේ ය. කයිතඩි දක්වා පැමිණියා නම් කුමක් ද සිදුවන්නේ…? මින් පසුව විභාගයට පාඩම් කර ඉන් සමත් විය හැකි ද…? මෙය යාපනයේ කොල්ලන්ගේ ස්වභාවය යි. ඔවුන් දක්ෂ කතාවට පමණ ය. ඔවුන් නිවැරදි ව ආදරය කිරීමට නොදනියි. ප්‍රේමයේ දී බැණුම් ඇසීමට සිදු වෙයි. බැණුම් ඇසුවා කියා මෙලෙස පැන යාම සුදුසුයි ද…? ආදරය ප්‍රකාශ කළ ක්ෂණයෙන් ඊට එකඟ වීමෙන් ලැබෙන සතුට කුමක් ද? නමුත් ඔහු ඉතා හුරතල් කොල්ලකි. කොපමණ බැණුම් ඇසුවත් මා දෙස ම බලා සිටියි. නමුත් ඔහු ‘ටියුබ් ලයිට්’ තමන් දක්ෂයෙක් කියා සිතාගෙන සිටියි. නමුත් ඔහු එසේ නොවේ. කෙල්ලකගේ සිතෙහි තිබෙන දෙය තේරුම් ගැනීමට නොහැකි මෝඩයෙකි ඔහු. ඉගෙනීමට එතරම් දක්ෂයෙක් නොවේ. උසස් පෙළ අසමත් වුවහොත් සීමා පාඨමාලාවට යොමු කරවිය යුතු ය. එවිට අපට යූකේ බලා යා හැකි යි. දරු ප්‍රසූතිය ළං වන විට අනුග්‍රහයක් ලබා දී මවත් ගෙන්වාගත හැකි ය. ඔහු මෙන් මෝඩයෙකු නොවන මා මෙන් බුද්ධිමත්, විලාසිතාවන්ට දැඩි රුචියක් දක්වන ලස්සන ගැහැනු දරුවෙකු හැදිය යුතුයි. ගතිගුණ පමණක් ඔහුගේ. කුමක් ද දරුවාට තබන නම…? ගැහැනු දරුවෙකුට ගැළපෙන නමක් තැබිය යුතු ය. කණ්ණම්මා යන නම ඊට සුදුසු ය. මහ කවි භාරදියාර්ගේ පෙම්වතිය. වෙනත් කෙනෙක් එම නම තැබීමට පෙර මා තැබිය යුතු යි. භාරදිගේ සිහිනයේ සිටින තරුණියන් මෙන් ඇයව උස්මහත් කළ යුතුයි. මා අද ඔහුට අධිකව බැණ වැදුණ බව හැඟෙයි. එහෙත් නොබැන සිටීමටත් නොහැකි ය. කිසිදු රාජකාරියක් නොමැති නිසා ඔහු මාගේ පිටුපසින් පැමිණෙයි.
“කෙල්ලේ නවතින්න, කොහෙ ද යන්නේ?”
දගකාර සිනහාවකින් මුහුණ සරසා ගනිමින්, පාපැදියේ නැග හැරී බලමින් ගමන් කළ ඇය කයිතඩි හමුදා මුරපොළ අසලට පැමිණ ඇතැයි නොසිතුවා ය. හමුදා නිලධාරියෙකු ඇයව නතර කළ විට තිගැස්සී පියවි සිහියට පැමිණියා ය.
“ආ?”
“කොහෙ ද යන්නේ කෙල්ලේ…?”
“වීට්ට” (ගෙදර)
“සිංහල දන්නේ නැද්ද?”
ඇය දෙමළින් ම දිගට ම උත්තර දුන්නා ය.
“තෙරියුම්, ආන් උන්නෝඩ කතෛක්ක මාට්ටේන්.” (දන්නවා නමුත් ඔයාත් එක්ක කතා කරන්නේ නෑ)
“මොකක් ද, මොනවා ද කියන්නේ. මොකුත් තේරෙන්නේ නෑ.”
ඇය පිළිතුරු නොදී සිටගෙන සිටියා ය. හමුදා නිලධාරියා අතහැරියේ නැත.
“කමක් නෑ. ඔයා හුඟාක් ලස්සනයි.”
හමුදා නිලධාරියා සිනාසුණේ ය. තත්ත්වය යහපත් නොවන බව ඇයට වැටහුණි. ඇය වටපිට බැලුවා ය. මුරපොළ අසල වෙනත් කිසිවෙකු සිටියේ නැත. තනියෙන් හසු වූවා යැයි ඇයට හැඟුණි. අද කොහොම හරි ඔහුගෙන් බේරි යා යුතුයි යැයි ඇය සිතුවා ය. නැති නම් කෑගසා වෙනත් හමුදා නිලධාරීන්ව ගෙන්වාගෙන ඔවුන්ට පැමිණිලි කළ යුතු යැයි ඕ සිතුවා ය.
ඇය ඉංග්‍රීසි භාෂාවට මාරු වුණා ය.
“ඊැය්ඩැ හදමරිැකගෙ උය්එ ාද හදම අ්බඑරෑ”
ඇය ඉංග්‍රීසි බසින් කතා කිරීම සම්බන්ධයෙන්, හමුදා නිලධාරියාට ලජ්ජාවක් ඇතිව තිබිය යුතු ය.
“අයිඩී එක පෙන්නන්න.”
ඇය හැඳුනුම්පත රැගෙන දුන්නා ය. මින්පසුව තවත් ප්‍රශ්න කරයි, ඔහුට එය කියවීමට හැකි දැයි සැක කළා ය.
“නම මොකක් ද?”
“උය්එරෑ”
හමුදා නිලධාරියා ඇය සමඟ කතා කරමින්, ඈ දෙස හොරෙන් බැලුවේ ය.
“නම දන්නේ නැද්ද? ඔයාගේ අයිඩී නේ ද? නම කියන්න.”
ඇයට පිළිතුරු දීමට නොහැකි ව වදන් පැටලුණි. එමෙන් ම බියකුත් ඇති ව තිබුණි. වවුලෙක් යටිබඩ සපා කමින් තටු ගසන හැඟීමක් ඇයට දැනුණි.
000
කතාව ලියා අවසන් කර හිස ඔසවා බැලුවෙමි. කණ්ණම්මා තම කතාව සමඟින් සිටගෙන සිටියා ය.
“තාත්තේ, මෙන්න මගේ කතාව.”
එය රැගෙන කියවා බැලුවෙමි. ලොකු අකුරුවලින් එක වචනයක් පමණක් ලියා තිබුණා ය. කණ්ණම්මාට යම් තරමින් දෙමළ ලිවීමේ හැකියාවක් තිබුණි. නමුත් එහි ලියා තිබූ දෑ මා හට කියවාගත නොහැකි විය.
“මොනවා ද මේ…” මට කිසි ම දෙයක් තේරුණේ නෑ.”
“මොනවා ද තාත්තේ…? මේක තමා මම දන්න එක ම කතාව.”
“එක වචනයකින් ඔයා කියන කතාව මොකක් ද රයිටර්…?”
“අම්මාගේ කතාව.”
“අම්මාගේ නම තමා ඒ කතාව… ඉතිරි ටික ඔයා ම ලියන්න.”
මා නිමේෂයකට තිගැස්සුණෙමි. කොයි තරම් හුරතල් ද? ඇය තේරුම් ගෙන පැවසුවා ද නැතිනම් මෙය ඇයගේ හුරුබුහුටිකම ද යන්න මා හට පැහැදිලි නැත. දෙවියනේ, ඇය කුමන ආකාරයේ දරුවෙක් ද? ඈ මගේ දරුවෙක් ලෙස උපදින්න මා පූර්වයෙහි කළ පුණ්‍යකර්මය කුමක් ද? ඔබ වෙනුවෙන් මා සිදු කළ උපවාස සහ ප්‍රාර්ථනා අපතේ ගොස් නැත. දෙවියන් මෙන් දරුවෙක්. මැය හොඳින් උස්මහත් කළ යුතු ය.
“මොකද තාත්තේ, ඩෝන්ට් යූ ගෙට් ඊට්? දැන් රීඩ් කරන්නම් අහන්න.” ඇය ශෝකයෙන් පැවසුවා ය.
කණ්ණම්මා තම මවගේ නම අදිමින් ළාමක හඬින් උච්චාරණය කළා ය.
“ක්‍රි…ෂා..න්ති”
ඇය පැකිළීමෙන් තම නම හමුදා නිලධාරියා හට පවසන විට, ඈත කොහොඹ ගසෙහි නිදාගෙන සිටි වවුලෙකු අවදි වී ශබ්දයක් පිට කරමින් ඉහළ අහසේ පියාසර කළේ ය.
000
සටහන
1996 වසරේ සැප්තැම්බර් 07 වනදා, ක්‍රිෂාන්ති කුමාරස්වාමී රසායන විද්‍යා විභාගය අවසන් කර පෙර දින හමුදා කැබ් රථයක ගැටී මියගිය මිතුරියගේ නිවසට තම අනෙකුත් මිතුරියන් සමඟින් ගියා ය. අනතුරු ව සිය නිවස බලා යමින් සිටිය දී, කයිතඩි හමුදා බාධකය අසල දී නිලධාරියෙකු විසින් ඇයව මුරපොළ තුළට කැටුව ගොස් තිබේ. එය එම මාර්ගයේ ගමන් ගත් පිරිස දැක ඇයගේ නිවසේ අයට පැවසූ හ. මෙය ඇසූ ඇයගේ මව, මල්ලි සහ අසල්වැසියෙක් කයිතඩි හමුදා මුරපොළ වෙත පැමිණියහ. ඔවුහු ද ක්‍රිෂාන්තනි සමඟින් අතුරුදන් වූ හ. අසල්වැසි පුද්ගලයා විවාහ වී ගත ව තිබූණේ මාස හයක් පමණ ය.
මෙම සිදුවීම සිදුව දින 40කින් අනතුරු ව චෙම්මිනියේ වළක තිබී ක්‍රිෂාන්තිගේ, ඇයගේ මවගේ, මල්ලිගේ සහ අසල්වැසියාගේ මළ සිරුරු සොයාගන්නා ලදි. විමර්ශනයේ දී ක්‍රිෂාන්ති අපයෝජනයට ලක් ව ඇති බවට තහවුරු විය. පසුව සිරුර කැබලිවලට කපා වළ දමා ඇති බවත් අනාවරණ විය. ඇයව සොයා ගිය අයට අත්වූයේ ද එම ඉරණම යි. මෙම සිදුවීමෙන් අනතුරු ව විනිසුරු ඉලන්චෙලියන්ගේ නියෝගයක් මත එම ස්ථානයේ කැණීම් සිදු කළ අතර එහි දී සමූහ මිනීවළක් සොයා ගන්නා ලදි.
පරිවර්තනය – ජෙගන් ගනේෂන්
Discover more from සාක්ෂිය
Subscribe to get the latest posts sent to your email.

Follow Us