July 15, 2025

පරික‍්ෂාවන්

දාචායනි

සෙනඟ පිරුණ බස් රථයක ඉහළින් සවි කර තිබූ කම්බිය එක් අතකිනුත්, අනිත් අතින් ආසනයෙහි තිබූ කම්බියත් අල්ලාගෙන සිටි විද්‍යාබාලිනිගේ යටි බඩ රිදුම් දෙමින් තිබූණි. ඒ සමගින් ඇය තුළ යම් අපහසුතාවයක් ඇතිව තිබෙන බව ඇයට හැඟුණි. හේතුවක් නොමැතිව ආරෝපණය කරගත් කෝපයකින් යුතු ව ඇය යාපන මාර්ගය දෙස බැලුවා ය. කම්බිය අතහැරියහොත් තමන් වැටෙනු ඇතැයි යන බිය ඇයගේ සිතෙහි හොල්මන් කරන්නට විය. ඇයගේ නළලෙහි දහදිය බින්දු කිහිපයකි. බසය තුළ අධික පිරිසක් සිටිය ද, පිටතින් හමන සුළඟ හේතුවෙන් කිසිවෙකුට දහදිය දැමුවේ නැත. කොහි දෝ යම් ප්‍රශ්නයක් සිදු ව ඇති බැවින් මින් පසුව සෑම හමුදා මුරපොළකම පරීක්ෂාවට ලක්විය යුතු ය යනුවෙන් මගීහු එකිනෙකා කතා කරමින් සිටියහ.

“මීට පෙර මෙවැනි හමුදා මුරපොළ නොතිබූණ සමයේ විශාල බස් රථ ධාවනය නොවී ය. අඩු වියදමකින් ගමන් බිමන් යාමේ හැකියාවක් ද නොතිබුණි. ප්‍රවාහනය සඳහා තිබූණේ කුඩා බස් රථ සහ වෑන් ය. ඒ තුළ ගමන් කිරීමේ දී හුස්ම ගැනීමටත් ඉඩක් නොලැබේ. මගියෙක් නිදහසේ හුස්ම පිට කරනුයේ, තම නැවතුමෙන් බැසීමෙන් අනතුරු ව ය. මෙපමණ විශාල සෙනඟක් වාහනයට ගොඩවීමට අවසර දුන් රිය සහයකට බැණුම් කෝටියකි.”

ඇයට අතීතය සිහි විය.

එම දිනවල බොහෝ අය කයිතඩි සිට යාපනය දක්වා පාපැදියෙන් ගමන් කළහ. බසයෙන් බැස පාපැදියක නැගි සුළඟ පීරමින් පියාසර කිරීමෙන් ලැබෙන සතුට කොපමණ ද…? තෙහෙට්ටුවක් නොමැතිව මිතුරියන් සමඟින් පාපැදියේ ගමන් කිරීමට ඇයගේ සිතෙහි දැඩි ආශාවක් තිබුණ ද, ඊට ඇයගේ නිවසින් අවසර නොලැබුණි. වර්තමානය දක්වා පාපැදි ගමනට බාධා පැවතුණි. පාපැදිය පදින්නට ශරීරයේ ශක්තිය වැය කළ පසු ව කෙසේ ද, පාඩම් වැඩ කරන්නේ…? මේ වන විට ඉගෙනීම අවසන් කර ඇය රැකියාවකට යමින් සිටියා ය. නිවසින් විවිධ හේතු කාරණා ඉදිරිපත් කළහ. ගමෙහි කොපමණ අකටයුතු සිදු වෙනවා ද….? කවදා මේවාට අවසානයක් ලැබෙයි ද….?

මේ වන විටත් බසය පසු කරමින් බොහෝ පාපැදි ගමන් කරමින් තිබුණි. දන්නා හඳුනන අය ද ඒ අතර වූහ. පෙර මෙන් තරුණියන් පාපැදියෙන් ගමන් කරන ආකාරයේ අඩුවක් දැකිය හැකි ය. පුරුෂයෙකුගේ සහය ඇතිව පාපැදිවලින් තරුණියෝ ගමන් කරති. බසය නතර විය.

“හැමෝම බැහැලා යන්න… බැහැලා යන්න…”

බසයේ කොන්දොස්තරවරයාගේ හඬ ඇසුණි. එය ඇසුණේ ටේප් රෝකෝඩරයක් ක්‍රියාත්මක කර තිබෙන ආකාරයෙනි. නිදහසේ ඇඟට සුළං පොදක් වදිනු ඇත. බසය නතර කළ ස්ථානය කුමක් දැයි පරීක්ෂා කිරීමට ඇය වටපිට බැලුවා ය.

“යාපන නගරයට ඔබව සාදරයෙන් පිළිගනිමු…”

යන් පුවරුව ඇය දුටුවා ය. මෙය අවසන් මුරපොළ වූ හේතුවෙන් ඇයගේ සිතට සැනසීමක් දැනුණි. ඇයගේ ශරීර ශක්තිය දුර්වල වී තිබුණි. සිරුරෙහි හැප්පෙමින් සිටින අය බැස යන තුරු ඇය බලා සිටියා ය. අසුන්ගෙන සිටි පිරිස් සිටගෙන සිටි මගීන් බැසීමට පෙර ඔවුන්ව පෙරළාගෙන නැගිට බසයෙන් බැසීමට උත්සාහ කළහ.

බසයේ සිටගෙන සිටින අය බැසගත් පසුව අසුන් ගෙන සිටින අයට බැසීමට හැකි නේ, යනුවෙන් ඇය සිතින් ඔවුන්ට බැණ වැදුණා ය. පිටුපසින් පැමිණෙන අය හැප්පීමට පෙර බිමට බැසිය යුතු යැයි ඇය සිතුවා ය. එවිට වැලමිටකින් පහරක් ඇයගේ බඩට වැදුණි.

“අයියෝ… අම්මා…”

සිය මුවින් පිටවීමට ගිය ඉතිරි වචනය කිහිපය ඉතා අපහසුවෙන් මැඩපවත්වා ගත්තා ය. වේදනාව පාලනය කරගැනීමට ඇය තම යටි තොල සැපුවා ය. වේදනාව අඩු වන තුරු සිටීමට නොහැකි ය. සිටගෙන සිටියොත් මෙම පිරිස හේතුවෙන් තමන් බිමට වැටෙනු ඇතැයි ඇය සිතුවා ය. පාදයේ මහපටැගිල්ලට ඇයගේ සාරිය පෑගුණි. කකුල ඉවත් කර සාරිය අතින් ඔසවාගෙන බසයෙන් බැස ඇවිද ගියා ය. දෙපා අතර තෙතමනයක් දැනුණි. සෙමින් ඇවිද ගිය ඇයව සුළඟ විසින් පිළිගන්නා ලදි. ඇයට පෙර බසයෙන් බැස ගිය කාන්තාවෝ පිරිමි අය සමඟ එක පෙළකට වී සිටගෙන සිටියහ. කාන්තාවන් අනෙක් මුරකුටිය අසලට යා යුතුය. තමන් යා යුත්තේ කුමන කුටිය වෙත ද යන පැනය ඇයගේ සිතෙහි ඇතිව තිබූණි. මුරකුටියක් අසල සෙබළියක් ඉණ මත සිය දෑත් තබාගෙන සිටගෙන සිටියා ය. එදෙසට පැමිණෙන ලෙස පැවසුවොත් යා හැකි ය යන සිතැති ව ඇය ද අනෙක් කාන්තාවන් සිටි පෙළට එක් වූවා ය.

එක්වර ම හමුදා සෙබළිය සිංහල බසින් කෑගසමින්, එදෙසට එන ලෙස අතින් සංඥා කළා ය. ඒ හඬින් කාන්තාවෝ බියට පත් වූහ.

“අර පැත්තට යමු…”

යන් පැවසූ විද්‍යාබාලිනි කාන්තාවන් සමඟින් එදෙසට ගමන් කළා ය. පිරිමින් සිටගෙන සිටි පෙළට ප්‍රථමයෙන් එක් වූ තරුණියන් ය. එම තරුණියන් දෙදෙනාගේ පළමු බස් ගමන මෙය විය යුතු හට සෙබළිය ඉතා සැර පරුෂ වචනවලින් බැණ වැදුණා ය. තම අවස්ථාව පැමිණි විට ඇය හැඳුනුම්පත පෙන්නුවා ය. ඇය.

කිසිවක් කතා කළේ නැත. එහි සිටි පොලිස් නිලධාරිනියක් ඇයගේ ශරීරයේ ඉහළ කොටසේ සිට පහළට අතගාමින් පරීක්ෂා කිරීමට ආරඹුවා ය. ඇයගේ සිතෙහි බියක් ඇති විය. මෙවැනි පරීක්ෂා කිරීම් මේ වන විට සාමාන්‍ය දෙයක් බවට පත් ව තිබුණි. ජීවිතයේ ප්‍රථම වතාවට මෙවැනි පරීක්ෂාවකට ලක් වූ අවස්ථාවේ දී අප්‍රසන්න ගතියක් දැනුණ ද, දැන් ඊට බොහෝ අය අනුගත ව සිටියහ. එහෙත් මෙවැනි අවස්ථාවක පරීක්ෂාවට ලක් වන ප්‍රථම අවස්ථාව මෙය යි. අනෙක් ස්ථානවල දී පරීක්ෂා කර තිබූණේ හැඳුනුම්පත පමණය. එම පොලිස් නිලධාරිනිය සිය අත ඉණෙන් පහළට ගෙන ආවා ය. ඒ සමඟින් ඇයගේ මුහුණේ ඉරියව් වෙනස් විය. ඇයගේ මුහුණ දෙස බැලුවා ය.

“මෙන්සස්…” ගොතගසමින් ඇය පැවසුවා ය.

ඉන්පසු පොලිස් නිලධාරිනිය කිසිවක් නොවිමසා පිටත් ව යන ලෙස හිස සැලුවා ය. ඉන් ඇයගේ සිතෙහි ඇති වූ චකිතය ඉවත් ව සැනසිලි සුසුමක් පිට කරමින් මුරකුටියෙන් පිටතට පැමිණියා ය. ගොඩගසා තිබූ කළුගල් සහ ගණ දෙවියන්ගේ කෝවිල අතරමැද විශාල ගසක් තිබුණි. එහි සෙවණ යට බසයෙන් පැමිණි බොහෝ අය සිටියහ. සූර්යයා තම දැඩි රශ්මිය පොළොව වෙත මුදාහැරිය ද, ඇය සෙවණක් යටට නොගොස් අව්වෙහි සිටගෙන සිටියා ය.

“අපිට අර පැත්තෙන් එන්න කියලා කලින් කිව්වා නම්, ඒ පැත්තෙන් ගිහින් ඇති නේ… අත් දෙක බැඳගෙන බලාගෙන ඉඳලා ඊට පස්සේ බැන්නා…” එහි සිටි තරුණියක් අඬමින් කිව්වා ය.

ඇයගේ මුහුණ කෝපයෙන් රතු වී තිබුණි. ඒ ගැන මගීහු කතා කළහ. ඔවුන්ට කතා කිරීමට හොඳ මාතෘකාවක් ලැබුණි.

“ඇයි දන්නවා ද කෙල්ලේ එහෙම බැන්නේ… ඔයා ලස්සන කෙල්ලෙක් නේ, එයාලාගේ පිරිමින්ව දැලේ දාගනියි කියන බයට….” එහි සිටි වයෝවෘද්ධ කාන්තාවක් කට ඇද කරමින් පැවසුවා ය.

රැස්ව සිටි ජනයා කොක් හඬලා සිනාසුණහ. විද්‍යාගේ මුහුණේ ද මඳ සිනහවක් මතු විය. බැණුම් ඇසූ තරුණිය පමණක් රවාගෙන.

තමන්ට බැණ වැදුණු සෙබළියට බැන්නා ය.

”යක්ෂණි…” යනුවෙන් ඇය මිමුණුවා ය.

රැස්ව සිටි ජනයාගේ සිනා හඬ ඇසී මුරකුටිය තුළ සිටි සෙබළිය පිටතට පැමිණ බැලුවා ය. ඒ සමඟින් බසය ඔවුන් සිටි ස්ථානයට ළං විය. ඊළඟ ප්‍රශ්නයට මුහුණ දීමට සිදු වූ ජනතාව එකිනෙකා තල්ලු කරමින් බසයට නැගීමට පොර කෑහ. බසය නතර කිරීමට පෙර රථයට තුළට පැන සමහරු සිය හැකියාව අන් අයට ප්‍රදර්ශනය කළහ. ඇයට දිව ගොස් තමන්ට ස්ථානයක් වෙන් කරගැනීමට නොහැකි ය. මෙවැනි අවස්ථාවක අසුනක් ලැබීම යනු ලෝක පුදුමයකි. එහෙත් සිටගෙන යාමට වුව ද පහසු ඉඩක් ලැබිය යුතු ම ය. කිසි කෙනෙකුගේ වැලමිට නොවදින, සෙරෙප්පු දෙපා තමන්ගේ පාද නොපාගන, රෝමියෝ කෙනෙකු මගීන් අතරින් සිරුර ස්පර්ෂ නොකරන ස්ථානයක් ලැබීම ප්‍රමාණවත් යැයි ඇය සිතුවා ය. ඇය එකවර ම හැරී බැලුවා ය. කෝපාන්විත වූ සෙබළිය තවමත් තමන් දෙස බලා සිටින ආකාරය ඇය දුටුවා ය. සෙබළිය නැවත හඬගසනු ඇතැයි බිය වූ වහා ම බස් රථය තුළට ගොඩ වූවා ය. බසයේ කෙළවරකට ගොස් ඇය පහසු ස්ථානයකින් සිට ගත්තාය. එහි සිට ඇය පිටත බැලුවා ය. බසයේ අසුනක් අල්ලාගත් අය මෙලොව ඇති සියලු ප්‍රශ්න අමතක කර සිටගෙන සිටින අය දෙස බලා තමන්ගේ ප්‍රශ්නය අසල සිටි අය සමඟින් හුවමාරු කරගත් හ.

”මීසාලෛ පැත්තේ, ක්ලේමෝර් එකක් පිපිරිලා, හතර දෙනෙක් මැරිලාලු…” යනුවෙන් දොරෙහි සිටගෙන සිටි කොන්දොස්තරවරයා පැවසුවේ ය.

මෙතරම් දැඩි ව පරීක්ෂා කළ හේතුව මේ වන විට අනාවරණ විය.

”පුත්තූර් හන්දියේ, අත්බෝම්බයක් එක්ක සංවිධානයේ කෙල්ලෙක් අත්අඩංගුවට ගත්තාලු.. පන්ජාබි ඇඳුමල්ලු ඇඳගෙන හිටියේ…”

ඇය වටපිට බැලුවා ය. බසය තුළ එවැනි ඇඳුමක් ඇඳගත් කවුරුත් සිටියේ නැත.

“හොඳ වෙලාවට මෙහෙ ඉන්න කාවත් අල්ලගෙන යන්නේ නෑ…”

ඇය සැනසුම් සුසුමක් හෙළුවා ය.

අත්අඩංගුවට ගත් තරුණිය ගැන බොහෝ අය අතින් පයින් වදන් එක් කරමින් විස්තර කළහ.

”මමත් දැක්කා, අම්මන් කෝවිල ළඟ දෙන්නෙක් ඇවිද්දා…” යනුවෙන් බොහෝ අය එක එක කතා කීම අරම්භ කළහ.

“ෂ්… මේ වගේ පොදු තැනක මේවා කියන්න එපා…” කවුරුන් දෝ කෙනෙක් ඇයගේ කතාවට බාධා කළාය.

එකිනෙකා හඳුනාගෙන නොමැති වූවත් මේ තරම් සමීප ව කතා කරන්නේ කෙසේ දැයි විද්‍යා විස්මයට පත් වූවාය. කතා කිරීමට වෙනත් මාතෘකා මොවුන්ට නොමැති ද…? සෑම තැනක ම මේ ගැනමයි කතා කරන්නේ. ඇය තමන්ට ම කියාගත්තා ය. ඇයට සුභාංගීව මතක් විය. ඇය ද මෙලෙස කුමක් හෝ වනයකට වී සිටිනු ඇත. නැවත කෙදිනක ඇයව හමුවන්න ද? යැයි ඇය දුක් වූවා ය.

“කැලයට වෙලා යුද්ධ කරන්න පුළුවන් නේ, මොකට ද මිනිසුන් ඉන්න තැන්වලට එන්නේ…” මෙපමණ වේලාවක් නිහඬ ව සිටි වයෝවෘද්ධ කාන්තාවක් හඬ අවදි කළා ය.

බසයේ සිටි සෑම කෙනෙකුගේ ම ඇස් ඇය දෙසට යොමු විය. එකවර ම විශාල නිහඬතාවයක් ඇති විය. දෙපිරිසට ම ඇය තම කෝපය අවම වන තුරු බැණ වැදුණාය. ඇයගේ දෑසේ තිබූ කඳුළු පිටාර ගලමින් තිබුණි.

සෝදිසි මෙහෙයුමක් අතරතුර ඇයගේ පුත්‍රයා අත්අඩංගුවට පත් විය. ඉන්පසුව ඈ දන්නා කිහිප දෙනෙකුගෙන් තම පුත්‍රයාව නැවත ගෙන්වා දෙන ලෙස ආයාචනා කළ ද ඵලක් නොවීය. විද්‍යා, මීට පෙර ද කඳුළු පුරවාගෙන සිටින එම වයෝවෘද්ධ…

කාන්තාව දැක තිබුණා ය. ඇයගේ සංවේදී කතාව ඇසීමට මගීන් එක්රොක් විය. දෙතුන් කෙනෙකු තමන් දෙස බලා සිටින ආකාරය විද්‍යා එකවරම දුටුවා ය. එය දුටු විට ඇයගේ සිතෙහි චකිතයක් ඇති විය. ඒ සමගින් සිරුරු සීතල වන ආකාරයක් ඇයට දැනුණි. කුමක් හෝ අකරතැබ්බයක් සිදු වී ඇතැයි ඇයට සිතුණි. තමන්ගේ සාරියේ පිටුපස බැලිය යුතුයි යැයි ඇය සිතුවා ය. ඔවුන් බලා සිටියදී එලෙස කිරීමටත් සිතක් නොවී ය. එය නොදැක්කා සේ සිටගත්තා ය. එහෙත් බියපත් වූ දෑසින් යුතු ව ඈ ඔවුන් දෙස බැලුවා ය. මෙපමණ සෙනඟක් සිටින බසයේ ඔවුන් කෙසේද තමන්ගේ සාරියේ පිටුපස දුටුවේ යන්න නොසිතීමට තරම් ඇයගේ බුද්ධිය හීන වී තිබූණි.

“අක්කේ, ඔයාගේ ඔළුවේ පිදුරු කෑලි වගයක් තියෙනවා…”

යනුවෙන් ඇයගේ අසල සිටි කොල්ලෙකු පැවසුවේ ය.

“හා…”

ඇය තමන් බියට පත්වීම ගැන ලජ්ජාවට පත්වෙමින්, අතින් එම පිදුරු කොටස් ඉවත් කර පිටතට දැමුවා ය. මෙය තමන්ගේ හිස මතට පැමිණියේ කෙසේ දැයි ඇය කල්පනා කළා ය. බසයේ ඉදිරියේ නොසන්සුන්තාවයක් ඇති විය. කුඩා දැරිවියක වමනය කිරීම ගැන කොන්දොස්තර දොස් නගමින් සිටියේ ය. ඇයගේ මුඛය තුළ කේඨය පිරෙමින් තිබූණි. ඇයට එය පිටතට දැමීමේ අවශ්‍යතාවයක් ඇති විය. බසය තුළ කෙළ ගැසීමට නොහැකිය. මාර්ගයේ ගමන් කරමින් සිටින අයෙකුගේ ඇඟට වදිනු ඇතැයි සිතූ ඇය ජනේලයෙන් පිටතට කෙළ ගැසීමටත් බිය වූවාය. ඇය දෙවියන්ගේ පිහිට පතා යාඥා කළා ය. රියදුරු බසය වෙනත් මාර්ගයකින් ධාවන කළේ ය.

“මොකද…..මොකද වුණේ…?”

මගීහු කෑමෝර දීමට පටන් ගත්තහ.

මීසාලෛ ඇති වුණ ප්‍රශ්නය නිසා දැන් නාව කුලියෙත් සෝදිසි කරනවා ලු…”

“දෙවියනේ, පනෛ වෙනකම් කී සැරයක් බස් එකෙන් බැහැලා නගින්නද…?”

කාන්තාවකගේ අදෝනාවක් ඇසුණි. විද්‍යා තමන් පරීක්ෂාවට ලක්වන අවසන් මුරකුටිය මෙය යැයි සිතා තම සිත සැහැල්ලු කරගත්තාය. බසයෙන් බැස මාර්ගයේ අයිනකට ගොස් කෙළ ගසා පැමිණි ඇය, කාන්තාවන් සමඟ එක පෙළකට සිට ගත්තා ය. මොවුන් කුමක් අසාවි ද යන බිය ඇයගේ සිතෙහි නැවතත් ඇති වෙමින් තිබුණි. රැකියාවට ගොස් පැමිණෙන ඇයගේ මුහුණෙහි ගමන් විඩාව තිබූණි. ඇයට දැඩි තෙහෙට්ටුවක් දැනුණි. එක පෙළට සිටි පිරිස් එකිනෙකා පසුපස ඉදිරියට ඇදුණහ. ඇය සිටි ස්ථානයට මඳක් දුරින් ගොන් කරත්ත කිහිපයක් නතර කර තිබුණි, ඒ අතරින් තරුණයෙක් තම කරත්තයේ පටවාගෙන පැමිණි පොල් ලෙලි එකිනෙක බිමට දමමින් සිටියේ ය. මේවා නැවත කරත්තයට පැටවිය යුතුය යන බියත්, වේදනාවත් ඔහුගේ මුහුණේ ගැබ්ව තිබුණි. අසලින් සිටගෙන සිටි සෙබළෙකු ඒ ක්‍රියාව පරීක්ෂාවට ලක් කරමින් සිටියේ ය. මොවුන් පැමිණි බස් රථයට ඉදිරියෙන් කාර් සහ යතුරු පැදි එකිනෙක ඉතා සෙමින් ඉදිරියට ගමන් කරමින් කරයි. පාළුවට ගොස් තිබූ තාප්පයෙහි අලුතින් ලියන ලද සිංහල අකුරු කිහිපයක් දැකගත හැකි විය. ඔවුන් සමඟ පැමිණි බොහෝ පිරිස් ඉදිරියට ගොස් සිටිය ද, ඇය තමන් සිටගෙන ස්ථානයේ ම සිටියාය. තහඩුවලින් වට කරනු ලැබූ මුරකුටිය තුළට පිවිසි එකිනෙකා ඉන් පිට වෙමින් සිටිති. අවස්ථාව පැමිණිය පසුව ඇය බෑගය විවර කර පෙන්නුවා ය. අනතුරු ව ජාතික හැඳුනුම්පත නිලධාරිනිය වෙත දිගු කළා ය. එම නිලධාරිනියව මීට පෙර හඳුනන බැවින් ඇය මඳක් සිනාසුණා ය. අනෙක් නිලධාරීනිය අලුතින් පැමිණිය කෙනෙකු විය යුතු යි. ඇය ඉතා දැඩි කාන්තාවකි. පෙර පරිදි ම ගෙලට පහළින් ආරම්භ කරන කිහිලි ප්‍රදේශය, පපුව, උදරය තදින් ස්පර්ශ කරමින් තම අත පහතට රැගෙන සෙබළිය එම ස්ථානය වෙත පැමිණ නතර වූවා ය. කිසිවක් නොකියා විද්‍යාගේ

දෑස් දෙස ඉතා අවදානයෙන් බැලුවා ය.

“මෙන් සස්…” යනුවෙන් ඇය මිමිණුවා ය.

සෙබළිය එක වර ම විද්‍යාගේ සාරිය ඔසවා බැලුවා ය. පෙර හඳුනාගැනීමක් ඇති නිලධාරිනිය නිහතමානි ලෙස කුමක් හෝ පැවසුවා ය. එහෙත් දැඩි පෙනුමකින් හෙබි සෙබළිය ඇයට වඩා උසස් නිලධාරිනියක් වන බැවින් ඇයගේ කීමට අවනත නොවුණා ය. අනතුරු ව සැනසිලිදායී බැල්මක් හෙළූ ඇය අනෙක් අය මුරකුටිය තුළට පැමිණීම වැළැක්වීමට දොරටුව අසලට ගියා ය. පිටතින් කසුකුසුවක් ඇතිව ඇති බව ඇයට වැටහුණි. සෙබළිය සාරිය දණ හිස පසු කර යන තෙක් ඔසවා බැලුවාය. ඇයගේ ශරීරය සිසිල් විය.

“ගලවනවා… ගලවනවා…” යනුවෙන් එක ම වදනින් ඇය තරවටු කළා ය.

බියට පත් වූ ඇය සිතෙහි ඇති වූ තැතිගැනීමත් සමඟ සාරිය ගැලෙව්වා ය. අනෙක් සෙබළිය මෙය දැකීමට අකැමැති වූ බැවින් ඉවත බලාගත්තා ය. ඇය පිළිකුලෙන් යුතුව ඒ මත අත තබා පරික්ෂා කළා ය. විද්‍යාට ලජ්ජාවක් ඇති විය. සිය දෑත ඉණ මත තබමින්

“යනවා…” යනුවෙන් පැවසුවා ය.

ඇය පිටතට යන විට ඇයගේ පසුපසින් පැමිණි සෙබළෙකු කෙළ ගසමිනුත්, ඇයට උසුළු විසුළු කරමිනුත්, යන ආකාරය දුටුවා ය. සෑම කෙනෙකු ම ඇය දෙස බලා සිටියහ. ලජ්ජාවට පත් වූ ඇය බිම බලාගෙන ම සෙනග සිටි ස්ථානයට පැමිණියාය. එම සෙබළා තවමත් සිනාසෙමින් සිටියේ ය. ඔහු අසලට පැමිණි සෙබළිය ඔහුට දැඩි ලෙස බැණ වැදුණා ය.

“කුමක් කියා බනින්න ඇතිද…?”

ඇය කල්පනා කළා ය. නළෙහි දහදිය පිටත දමමින් තිබුණි. ඇය මුරකුටිය තුළ ලැබු අවමානය තවමත් අඩු වී තිබූණේ නැත. මුරකුටියේ යට ප්‍රදේශයේ තහඩුවලින් ආවරණය කර නොතිබූ බැවින් එහි සිටගෙන සිටින කාන්තාවන්ගේ දෙපා පෙනුණි. දොරටුවේ එල්ලා තිබූ ගෝනි කැබැල්ල සුළඟට ලෙලදෙමින් තිබූණි. ඒ තුළ සිටි අය තම බෑගය පරීක්ෂාවට ලබා දෙන ආකාරය ඇය දුටුවා ය. සියලු දෙනාගේ දෑස් තමන් දෙස යොමුව ඇති බව දුටු ඇයට, මුහුණ වසාගෙන හිස හැරුණ අතට දිව යා යුතු යැයි සිතුණි.

අද දවස තුළ කොපමණ පරීක්ෂාවන් ද …? යනුවෙන් සිතු ඇයගේ උගුර හිර විය. වමනය දැමූ දැරිය… පුත්‍රයාව අහිමි කරගත් මව… බැණුම් ඇසූ තරුණිය… කරුණාවෙන් බැලූ කන්‍යා සොයුරියන්…. මීසාලෛ ප්‍රදේශයේ දී අත්අඩංගුවට පත් වූ තරුණිය…. ආසනයක් අල්ලා ගැනීමට දිව යන මගීන්… මෙම ප්‍රශ්න සියල්ල අමතක කර මින් පසුව තමන් ගැන ඔවුන් කතා කරාවි. මගීන් පොරකමින් බසයට ගොඩවෙද්දී, ඇය අවසාන පුද්ගලයා ලෙස සුපුරුදු පරිදි ගොඩ වූවා ය.

“දුවේ මෙතැනින් වාඩිවෙන්න…”

ඇය සිටගෙන යාමට තැන සොයමින් වටපිට බැලූ විට වයෝවෘද්ධ කාන්තාවක් නැගිට තම අසුන පිරිනැමුවා ය. මුරකුටියට තුළට යාමට සිටි පෝලිමේ තමන්ගේ පිටුපසින් සිටියේ එම කාන්තාව බව විද්‍යාට සිහි විය.

“ඔයා වෙනුවෙන් තමා මං දුවගෙන ඇවිත් මේ ෂීට් එක අල්ලගත්තේ, ඔයාට මෙහෙම දෙයක් කියලා කලින් ම කියලා බස් එකේ ම ඉන්න තිබූණානේ…”

යනුවෙන් එම කාන්තාව පැවසුවා ය. සෙනෙහසින් යුතු ව ඇයගේ දෑතින් අල්ලා වාඩිවීමට ඉඩ සලසා දුන්නා ය. එම කාන්තාවගේ දෑත්වල සෙනෙහස පිරි තිබූණි.

“යක්ෂණී, මොන තරම් කැත වැඩක් ද කළේ…”

එම කාන්තාව දිගටම පැවසුවා ය. විද්‍යා, ඉදිරි අසුන මත තම හිස තැබුවා ය.

අද දවස තුළ කොපමණ පරීක්ෂාවන් ද ….? යනුවෙන් සිතු ඇයගේ උගුර හිර විය. වමනය දැමූ දැරිය…. පුත්‍රයාව අහිමි කරගත් මව… බැණුම් ඇසූ තරුණිය… කරුණාවෙන් බැලූ කන්‍යා සොයුරියන්…. මීසාලෛ ප්‍රදේශයේ දී අත්අඩංගුවට පත් වූ තරුණිය… ආසනයක් අල්ලා ගැනීමට දිව යන මගීන්… මෙම ප්‍රශ්න සියල්ල අමතක කර මින් පසුව තමන් ගැන ඔවුන් කතා කරාවි. මගීන් පොරකමින් බසයට ගොඩවෙද්දී, ඇය අවසාන පුද්ගලයා ලෙස සුපුරුදු පරිදි ගොඩ වූවාය.

“දුවේ මෙතැනින් වාඩිවෙන්න…”

ඇය සිටගෙන යාමට තැන සොයමින් වටපිට බැලූ විට වයෝවෘද්ධ කාන්තාවක් නැගිට තම අසුන පිරිනැමුවා ය. මුරකුටියට තුළට යාමට සිටි පෝලිමේ තමන්ගේ පිටුපසින් සිටියේ එම කාන්තාව බව විද්‍යාට සිහි විය.

“ඔයා වෙනුවෙන් තමා මං දුවගෙන ඇවිත් මේ ෂීට් එක අල්ලගත්තේ, ඔයාට මෙහෙම දෙයක් කියලා කලින් ම කියලා බස් එකේ ම ඉන්න තිබූණානේ…”

යනුවෙන් එම කාන්තාව පැවසුවා ය. සෙනෙහසින් යුතු ව ඇයගේ දෑතින් අල්ලා වාඩිවීමට ඉඩ සලසා දුන්නා ය. එම කාන්තාවගේ දෑත්වල සෙනෙහස පිරි තිබූණි.

“යක්ෂණී, මොන තරම් කැත වැඩක් ද කළේ…”

එම කාන්තාව දිගටම පැවසුවා ය. විද්‍යා, ඉදිරි අසුන මත තම හිස තැබුවාය.

”ඔයා නිදාගන්න….” යනුවෙන් පැවසු කාන්තාව සිය හඬ පාලනය කරගත්තා ය. කිසිවක් සිදු නොවූ ලෙසින්, ඇය සිය සිරුර සැහැල්ලු කිරීමට උත්සහ කළා ය. නමුත් එය සිදු කිරීමට නොහැකි විය. බඩෙහි වේදනාවක් ඇති විය. මඳ  ‌වේලාවකින් උණුසුම් ද්‍රාවණයක් සිරුරෙන් බැහැර වන අයුරු ඇයට දැනුණි. හදවත බිමට වැටුණ හොත් යහපත් යැයි ඈ සිතුවා ය.

”කයිතඩි, කයිතඩි බහින්න…”

විනාඩියකින් කයිතඩි බස්නැවතුමට බසය සේන්දු විය.

”ස්තුතියි අම්මේ… ඔයා වාඩිවෙන්න…”

යැයි පැවසූ ඇය හදිසියෙන් බසයෙන් බැස්සා ය. සිතෙහි හිස් බවක් ගැබ්ගෙන තිබුණි. ඒ සමඟින් ම ඇය නිවස බලා පිය මැන්නා ය.

පරිවර්තනය – ජෙගන් ගනේෂන්

දාචායනි
+ posts

දාචායනි යන අන්වර්ථ නාමයෙන් ලේඛන කලාවට පිවිසි ප්‍රේමිනි සභාරත්තිනම්, යාපනය, චාවකච්චේරි ප්‍රදේශයේ දී උපත ලබා තිබේ. විසි වසරක් පුරා ලේඛන කටයුතු සිදු කරන ඇය කෙටිකතා, නවකතා, ලිපි, ළමා සාහිත්‍ය සඳහා සිය දායකත්වය ලබා දී තිබේ.


Discover more from සාක්ෂිය

Subscribe to get the latest posts sent to your email.

Follow Us

Archives

Go toTop