July 30, 2025

බලාපොරොත්තුව වැළලූ තැන: නිලන්දන්ගේ යුද කවි කියවීම

මහේෂ් මුණසිංහ

ආනන්දය හෝ ශෝකය හෝ වුව, ස්වීය අත්දැකීම් තුළින් බිහිවෙන කලා කෘතීන් අපගේ ලේ නහර තුළටම කි‍ඳී අපව රිදවන්නට සමත්වෙයි.

නිලාන්දන් විසින් ඔහු විඳි තිරස්චීන යුද්ධයක අත්දැකීම් සමූහය පදනම්ව ලියැවුණු “යුගාවසානයෙන් ඉක්බිති” කවි එකතුව එලෙසින්ම අපගේ ලේ නහර තුළට කිඳී රිඳුම්දෙයි.

රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදුකරන ලද දෙමළ විරෝධි ප්‍රචණ්ඩ ක්‍රියාවන්ගේ ඉතිහාසයේ පළමු තීරණාත්මක සමූල ඝාතනය සටහන් වන්නේ මෙයින් වසර දශක හයකටත් පෙර කාල වකවානුවේ දී ය. ඒ වසර 1956 දී, බණ්ඩාරණායක ආණ්ඩුව විසින් සිංහල භාෂාව පමණක් රාජ්‍ය භාෂාව බවට පත් කිරීමේ පනත සම්මත කිරීමට එරෙහිව උතුර සහ නැගෙනහිර පළාත් හි පැවති සාමකාමී විරෝධතාවයන්ට එරෙහිව රාජ්‍යය අනුග්‍රහය ලද සිංහල මැරයන් විසින් සිදුකළ පහරදීම්වල දී සතියක් ඇතුළත 150 කට අධික දෙමළ වැසියන් සංඛ්‍යාවක් ඝාතනය කිරීමෙනි. එතැන් සිට ව්‍යාප්තවුණු ජන සංහාරක ප්‍රචණ්ඩ ක්‍රියාවලියේ උච්චතම අවධිය සනිටුහන් වන්නේ දෙමළ විමුක්ති කොටි සංවිධානය විසින් මාවිල් ආරු සොරොව්ව වැසීමේ සිද්ධිය මුල්කරගෙන, ශ්‍රී ලංකා රජයේ ගුවන් හමුදාව 2006 ජූලි 26 දා එල්ලකළ ගුවන් ප්‍රහාරවලින් ඇරඹි, හතරවන ඊළාම් යුද්ධයේ අවසන් අදියර යැයි සැළකෙන 2008 සහ ‍2009 වසරවල දී ය. එහි අවසාන අදියරේ දී ශ්‍රී ලංකා රජයේ හමුදා විසින් විතැන්පත් අසරණ දෙමළ ජනයා පුදුමාතලන් වෙරල තීරයේ වර්ග කිලෝමීටර්  දෙකහමාරක් වැනි ප්‍රදේශයක ට කොටුකර එය “යුද මුක්ත කලාපය” යැයි වංචනිකව නම්කර, වරින් වර එල්ලකරන ලද ගුවන් ප්‍රහාර වලින් ඔවුන්ගෙන් විශාල සංඛ්‍යාවකින් ඝාතනය කර තිබුණි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තා අනුව 70,000කට අධික නිරායුධ දෙමළ වැසියන් ඝාතනය වී ඇති අතර 300,000කට අධික විතැන්පත් සාමාන්‍ය දෙමළ වැසියන් සංඛ්‍යාවක් සරණාගත කඳවුරුවලට ගාල්කරන ලදි.

ගොඩබිමින්, මුහුදින් සහ ගුවනින් එල්ලකරන ලද අවසානයක් නැති ම්ලේච්ඡ ප්‍රහාරයන් හමුවේ, නිරායුධ සාමාන්‍ය දෙමළ වැසියන් අතිශයින් පීඩාවට පත් වූ අතර, දිවිගලවා ගත්වූවන්ට සිය බියකරු මතකයන් තුළම නැවත නැවතත් ගිලී මියෙන්නට සිදුවිණි. කොයි මොහොතක හෝ උරුම වෙතැයි සිතෙන තරමට මරණය ඔවුන්ගේ සමීපයේ ම දැවටෙමින් තිබුණි. තැන තැන වූ මළ සිරුරු සංඛ්‍යාව ගිණිය නොහැකි තරම් විය. කුණු වූ කලේවරයන්ගේ දුඟද නැහැ පුඬුවලට තවදුරටක් අපුලක් නොවිණ. දොම්නස හා භග්නාශාව ඉක්මවා කුසගින්න‍ට හා සන්ත්‍රාසයට වයස් භේදයකින් තොරව සියල්ලන් ම ගොදුරුව තිබුණි. හිටපු බී.බී.සී. වාර්තාකාරිණියක වූ ෆ්‍රාන්සස් හැරිසන් විසින් රචිත Still Counting the Dead: Survivors of Sri Lanka’s Hidden War Paperback පොතෙහි ඉග්නේෂස් කන්‍යා සොහොයුරිය (සත්‍ය නම නොවේ) මෙසේ පවසා තිබුණි: ‘මම දැක්කා දරුවෙක්. එයාගෙ මුහුණෙ හිනාවක් තිබුණෙ නැහැ. ඒ මුහුණ හිරිවැටිලා. මම කවදාවත් දැකල තිබුණෙ නැහැ ඒ වගේ දරුවෙක් ව. ඔබ ඇයව කිති කැවූවත් කිසිම ප්‍රතිචාරයක් ලැබෙන්නෙ නැහැ’  (පරිච්ඡේදය: The Nun, පිටු අංකය: 111).

නිලාන්දන් ගේ කවියෙහි අප්‍රමාණ නිර්ව්‍යාජත්වය මතුවන්නේ ඔහුගේ මේ කඨෝර අත්විඳීම තුළිණි. සිහින පුපුරුවා දැමූ සැලසුම්ගත සමූල ඝාතන ක්‍රියාවලියක අවසන සිය ජීවිතය සප්‍රාණව තිබීමේ වරදකාරී හැඟීම තුළිණි. මෙ වැනිම කුරුරු අත්දැකීම් සමුදායකට මුහුණ දී ඒ අනුසාරයෙන් කවි විශාල සංඛ්‍යාවක් ලියා ඇති පලස්තීන මහා කවියා වූ මහමූද් ඩාර්විෂ් විසින් රචිත ‘සරණාගතයෝ’ නම් කවියෙහි පහත සඳහන් පද පෙළ නිලාන්දන්ගේ කවි එකතුවේ සාරංශය යැයි මට සිතේ.

ඔවුහු ඔහුගේ මුඛය දම්වැල්වලින් බැඳ,

මළවුන්ගේ පර්වතයට තබා දෑත් බැඳ තැබුවෝය.

ඔබ මිනීමරුවෙක් – ඔවුහු පැවසුවෝය.

ඔවුහු ඔහුගේ කෑම, ඇඳුම් සහ බැනර් රැගෙන ගියහ.

ඔහුව මළවුන්ගේ ළිඳට විසි කළෝය.

ඔබ හොරෙක් – ඔවුහු පැවසුවෝය.

ඔවුහු ඔහුව සෑම නැව්තොටකින්ම එළියට ඇද දැමූහ.

ඔහුගේ තරුණ පෙම්වතිය ද රැගෙන ගියෝය.

ඔබ සරණාගතයෙක් – ඉන්පසු ඔවුහු පැවසුවෝය.

‘සරණාගතයෝ’ | පලස්තීන කිවියර මහමූද් ඩාර්විෂ්

ප්‍රතිභාව හෝ සත්තාභ්‍යාසය හෝ විධිමත් අධ්‍යාපනය හෝ තුළින් ලද ලේඛන කුසලතාවයට, ස්වීය අත්දැකීම් ප්‍රභාවයක් වේ. 88/89 දකුණේ තරුණ නැගිටීම් කාලයේදී සිංහල රාජ්‍යය විසින් මෙහෙයවන ලද ඝාතකාගාරයන් හී කුරිරු වධ බන්ධනයන්ට ගොදුරුව දිවි බේරාගත් අපට සිටින ප්‍රබල කවියෙකු වන අජීත් සී හේරත් ගේ කවි වල ඇති දොම්නස හා ශුන්‍යත්වය නිලාන්දන් ගේ කවි තුළින් ද පෙනේ.

කපාලය මත රැඳි තෙතැ’ති පස

පින්සලයකින් පිස දැමෙයි.

බොහෝ කලකට පෙර

මහා බියකරු රැයකදි

මරා වළ දැමුණු සිහිනය

දිරා ගිය ඇටකැබැලි ලෙස මතුවෙයි.

ඒ ඔබේ අවසාන කඳුළු බිඳ උරා ගත් පස්ය.

ඒ ඔබේ අවසාන සුසුම් පොද මුසු වූ  පස්ය

ඒ නොනිමි වධ විඳි ඔබේ මාංශය

දියව ගිය පසය.

‘පෙරළූ නැවුම් පස’  | අජිත් සී. හේරත් 

දකුණේ අජිත් ගේ කවිවල මෙන්ම උතුරේ නිලාන්දන් ගේ  කවිවල ද මුල් විහිදී ඇත්තේ අමු ලේ උරාගත් කාශ්ඨක පොළොව තුළ ය. අතුපතර විහිදී  ඇත්තේ විතැන්පත්ව බියෙන් එහෙ මෙහෙ වන කැහැටු සිරුරක ඇසෙහි කඳුළු තුළ ය. සුසුම් තුළ ය. අහස සිසාරා ඉහළට ඇදුණු මළවුන්ගේ අවසන් ළතෝනිය තුළ ය. එලෙස අවසන් ගමන් ගිය ඔවුන්ගේ විසල් සිහිනය ගැන නිලාන්දන් වචන කිහිපයකින් මෙසේ පවසයි.

කුඩා රාජ්‍යයක හෝ විසල් සිහිනයක

අවසන් ගමන ගිය

කැඩුණු වැලි පාර

මාවතෙහි

මළ – මිණී – තුවාල – සෙනඟ – වාහන

දෙපතුලේ දැවෙන්නේ

මුහුදු වැලි ද? අපේක්ෂාවන් ද?

‘අම්බලවන් පොක්කනි පාර – 2009 (වෙසක්)’ | නිලාන්දන් 

දකුණු ආසියාවේ සිදු වූ විශාලතම සමූල ඝාතනය යැයි සැලකෙන 2008/2009 කාලයේ දී ශ්‍රී ලංකා රාජ්‍යය විසින් දියත් කරන ලද අමාණුෂික යුද්ධය ලොවෙ හි සියළුම ප්‍රබල රාජ්‍යයන් විසින් වුවමනාවෙන්ම මඟහරින ලදැ යි යන්න මතුපිටට නො පෙන්වා වළලාදැමූ යථාර්ථය යි. භූ දේශපාලනිකව ශ්‍රී ලංකාව ඉන්දියානු සාගරයේ ඉතා වැදගත් කලාපයක පිහිටා තිබේ. මෙම දූපතේ ජීවත්වන සුළුතරයක් වූ දෙමළ ජනයාගේ මුල් බිමෙහි නිදහස පතා සටන් වදිමින් සිටි ආයුධ සන්නද්ධ ප්‍රබල ගරිල්ලා ව්‍යාපාරයක් වූ  දෙමළ විමුක්ති කොටි සංවිධානයේ ශක්තිය, තමන්ගේ ආරක්ෂක සහ වෙළඳ උපාය මාර්ගයන් වෙනුවෙන් විනාශකර හෝ දුර්වලකර හෝ දැමීමේ වුවමනාව බටහිර රාජ්‍යයන්ට දිගින් දිගටම තිබුණි. දීර්ඝ කාලයක් ති‍ස්සේ සිදුකෙරුණු ජන සංහාරක අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීමට ශ්‍රී ලංකා රාජ්‍යයට සහාය දීමෙන් එය සපුරාගත හැකි බව ද ඔවුහු දැන සිටිය හ.

වසර 2013 දෙසැම්බර් මාසයේ දී ජර්මනියේ බ්‍රෙමන් නගරයට රැස්වුණු මහාචාර්‍ය ෆයර්ස්ටීන් ඩැනියෙල් සහ එක්සත් ජාතීන්ගේ හිටපු සහකාර ලේකම් ඩෙනිස් හැලිඩේ ගේ සම සභාපතිත්වයෙන් යුතු මහජන විනිශ්චය සභාවේ දෙවන සැසිවාරයේ දී, ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර දෙමළ ජනයාට එරෙහිව අදියර වශයෙන් සිදුවෙමින් පවතින ජන සංහාරක අපරාධ ක්‍රියාවලිය සඳහා ශ්‍රී ලංකා රාජ්‍යය සහ එහි සන්නද්ධ හමුදාව වරදකරුවන් බැව් දක්වා ඇති වාර්තාවේ (Final Report of the Peoples’ Tribunal on Sri Lanka – Session II) මෙසේ සඳහන් වෙයි.

“ශ්‍රී ලංකා රාජ්‍යයට පමණක් සිය ජන සංහාරක අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීමේ හැකියාවක් නො මැති බව පිළිගනිමින්, ඉදිරිපත් කරන ලද සාක්ෂි අනුව, එක්සත් රාජධානිය, ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉන්දියාව වැරදිකරුවන් බව විනිශ්චය සභාව විශ්වාස කරයි. තවද, එක්සත් රාජධානිය සහ ඇමෙරිකා එක්සත් ජනපදය පැහැදිලිවම ජන සංහාරක ක්‍රියාවලියේ හවුල්කරුවන් බව විනිශ්චය සභාව තීන්දු කරයි. ඉන්දියාවට එරෙහි එම චෝදනාව සම්බන්ධයෙන්, විනිශ්චය මණ්ඩලය එහි අවසන් තීරණය ලබා දීම අත්හිටුවීමට තීරණය කරන්නේ ඒ සඳහා තවදුරටත් අතිරේක සාක්ෂි සලකා බැලිය යුතු බැවින් සහ එම සාක්ෂිවලින් චීනය වැනි අනෙකුත් රාජ්‍යයන්ගේ මැදිහත් වීමද හෙළිවිය හැකි බැවිනි.”

වගන්තිය: 5.2.4 – තීන්දුව | පිටු අංකය: 38

තතු එසේ වුවද එවන් ව්‍යසනයක් සිදුවීමට ඉඩහැර නිශ්ශබ්දව බලා සිටි බාහිර ලෝකය ගැන වූ අපේක්ෂා භංගත්වය සහ කනස්සල්ල ද නිලාන්දන්ගේ කවි කිහිපයක ම ගැබ්ව තිබේ.

සාරි වැලි කොට්ට

පියකරු මුත් අසුබය

මළමිණී සැරසූ සාරි මෙනි

සාරිවලින් වට මුඩුක්කු

බෑන් කී මුන්

ගුවනේ සිට නරඹද්දී

පොළව දුම් දමමින් තිබුණි

‘මිනී සාරිය’ | නිලාන්දන් 

සහයට කිසිවෙක් නො එන

යුගාවසානයක

පරම්පරා ගණනක් වෙනුවෙන්

හෙළන ලද

අවසන් ලේ බිඳුවයි මෙය

‘කංජි කවි  02’ | නිලාන්දන් 

නිලාන්දන් ගේ කවි අකුටිල ය. සත්‍යවාදී ය. ප්‍රබල ය. අනෙකා ප්‍රකම්පනය කරවන සුළු ය. ආහාර සහ ඖෂධ වර්ග පවා සීමාකරමින් අවම මානව හිමිකම් අයිතීන් පවා උල්ලංඝනය කළ ඒ ජන සංහාරක යුද වකවානුව තුළ මුහුණදුන් දුර්දාන්ත ක්‍රියාදාමය ඔහුගේ බොහෝ කවි තුළ කර්කශ ලෙසින් මතුව තිබේ. යුගයක අවසානය සනිටුහන් කළ භීතකර යුද්ධයෙන්  අනතුරුව එළැඹි පශ්චාත් යුද සමයේ දී, තමා අත්විඳි අතීතය ආවර්ජනය කරමින් ලියූ කවිවල ශෝකය ද ශුන්‍යත්වය ද කැටිව තිබේ. දශකයක් ආයාමයෙන් අතුරුදහන් වූ තම දරුවන් සොයා තවමත් වීදි පුරා අරගළයෙහි යෙදෙන අම්මාවරුන්ගෙන් මෙසේ අයදිමින් ඔහු සිය කවි එක‍තුව නිමා කරයි.

මොන වෙරළේ දී මරන්න දුන්නා දෝ

මොන වෙරළේ දී බාර දුන්නා දෝ

ඒ වෙරළේ ද

අම්මේ තවමත් සොයන්නේ?

ලුණු, අළු, මුල් පැතිරුණු වැල්ලේ

නුඹ තැනූ ස්මාරකයේ අත් කැඩූ කෙනාගෙන්

හඬන්නට අවසර නොඉල්ලන්

‘මැයි දහඅට 2021’ | නිලාන්දන් 

2008/2009 කාලය තුළ, ජංගම දුරකතන සේයාරූ සහ රූප රාමු මඟින් දුරින් සිට දැක බලා ගත්, යුද්ධයේ ම්ලේච්ඡත්වයට එරෙහිව ලියැවුණු සිංහල කවි, සිංහලට පරිවර්තනය කරන ලද දෙමළ බසින් ලියැවුණු කවි සහ ඉංග්‍රිසි භාෂාවෙන් ලියන ලද කවි අතලොස්සක් දකුණේ සිංහල ජනතාවට කියවීමට අවස්ථාව ලැබුණු මුත් එම ප්‍රචණ්ඩත්වය සැබැවින්ම ඇසූදුටු නිලාන්දන් වැනි දෙමළ ලේඛකයින්ගේ නිර්මාණ සිංහලෙන් කියවීමට ලැබීමේ අවස්ථා විරල ය.  යුද්ධය අවසන්වීමත් සමඟම එම ඛේදවාචකයේ තරම අබමල් රේණුවක තරමින් වත් නොදන්නා දකුණේ සිංහලයා, සංහිඳියාව, සාමය සහ සහජීවනය ගැන සුනරුත් නන්දෙඩවීම් ආරම්භකර තිබේ. තමා විසින් දෑතම ඔසවා අනුමතකර, අනතුරුව ලැබූ යුද ජයග්‍රහණයෙන් ඔද වැඩී, වීදී පුරා ප්‍රීතිඝෝෂා කරමින් අවසන් කරන ලද ඊනියා මානුෂික මෙහෙයුමේ කෲරත්වය නිලාන්දන් විසින් සැබැවින් ම අත්විඳ තිබේ. එවැනි ලේඛකයෙකු සිය මව් බසින් ලියූ කාව්‍ය නිර්මාණ සිංහල භාෂාවට පරිවර්තනය කර දකුණේ සිංහලයාට කියවීමට ඉඩ සැලැස්වීමෙන් දෙමළ ජාතින්ගේ නිදහස් අරගළයේ දේශපාලන පැතිකඩ තරමක් හෝ සම්මුඛ කරවා ගැනීමට අවැසි පදනම සකසා ගැනීමට ඔවුනට උදව් වේ යැයි මම සිතමි.


Discover more from සාක්ෂිය

Subscribe to get the latest posts sent to your email.

Follow Us

Archives

Go toTop