August 5, 2025

ඊලාම් දෙමළ දේශපාලන ඉතිහාසය – 2 කොටස

S.A. යෝතිලින්ගම්
ඊළාම් දෙමළ ජනතාවගේ දේශපාලන ඉතිහාසයේ පළමු අදියර 1833 සිට 1921 දක්වා දිව යයි. මෙම කාලයේදී දෙමළ ජනතාව දේශපාලනික වශයෙන් “සීලෝනිකයෝ” ලෙසත්, සංස්කෘතික වශයෙන් “දෙමළ” ලෙසත් හැඳින්විය. 1921 අගෝස්තු 15 වැනි දින, සර් පොන්නම්බලම් අරුණාචලම් විසින් සිලෝන් ජාතික සංගමයෙන් බැහැර වී “දෙමළ මහජන සභාව” පිහිටුවීමත් සමඟ දෙවැනි අදියර ආරම්භ විය. එය 1949 දෙසැම්බර් මාසය දක්වා දිව ගිය අතර, සෙල්වා  පියතුමා විසින් “සමස්ත ලංකා දෙමළ කොන්ග්‍රසය” ආරම්භ කිරීමත් සමඟ අවසන් විය. 1949 සිට 1968 දක්වා වූ තුන්වන අදියරේදී ෆෙඩරල්වාදය සඳහා වූ ඉල්ලීම සහ උතුරු නැගෙනහිර දෙමළ නිජබිම ලෙස පිළිගැනීමේ අවශ්‍යතාවයක් දක්නට ලැබුණි. 1968 දී දෙමළ තරුණ ව්‍යාපාර මතුවීමත් සමඟ ආරම්භ වී 2009 දී සන්නද්ධ අරගලය අවසන් වීමත් සමඟ අවසන් වූ සිව්වන අදියර, ස්වාධීන රාජ්‍යයක් සඳහා වූ ඉල්ලීම කෙරෙහි අවධානය යොමු කළේය. "ඊලාම් දෙමළ ජනතාවගේ දේශපාලන ඉතිහාසය" නම් මෙම ලිපි මාලාවේ එක් එක් කාල පරිච්ඡේදයේ  සිදු වූ වැදගත් සිදුවීම් අඩංගු වන අතර එමඟින් තවමත් අසම්පූර්ණ දේශපාලන ඉතිහාසයක් සඳහා මූලික අඩිතාලමක් දැමීමට උත්සාහ කරයි.

1921 සිට 1949 දක්වා: ඒකීය පාලනයක් තුළ සමානාත්මතාවය සෙවීම

1921 දී ආරම්භ වී 1949 දෙසැම්බර් 18 වන දිනෙන් අවසන් වූ කාලය (සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය ආරම්භ කරන ලද කාලය)  දෙමළ දේශපාලන ඉතිහාසයේ සුවිශේෂී අවධියක් ලෙස සැලකිය හැකිය. මෙය දෙමළ ජාතිකවාදය දේශපාලනිකව හැඩගැසීමට පටන් ගත් යුගයයි. කෙසේ වෙතත්, මෙම යුගයේ දෙමළ දේශපාලනය ලංකාවේ (ශ්‍රී ලංකාවේ) ඒකීය පාලන ව්‍යුහයට අභියෝග කළේ නැත. ඒ වෙනුවට, එය එම රාමුව තුළ ක්‍රියාත්මක වූ අතර, සමාන අවස්ථා සහ සාධාරණ නියෝජනයක් ඉල්ලා සිටියේය. මෙම දේශපාලන දැක්ම ආරම්භ කරන ලද්දේ ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම් මහතා  විසිනි, නමුත් එහි ගමන් පථය පුළුල්  සහ ගැඹුරු බවට පත් කළේ ජී.ජී. පොන්නම්බලම් මහතා විසිනි.

දෙමළ මහා සභාව පිහිටුවීම       

ජි. ජි. පොන්නම්පලම්

ලංකා ජාතික සංගමයෙන් ඉල්ලා අස්වීමෙන් පසු, ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම් මහතා 1921 අගෝස්තු 15 වන දින යාපනයේදී, පැහැදිලිවම වාර්ගික දේශපාලන සංවිධානයක්  වන දෙමළ මහා සභාව පිහිටුවීමට ගියේය. එය ආරම්භ කරන අවස්ථාවේ දී, අරුණාචලම් විසින් දෙමළ අනන්‍යතාවය සහ උරුමය ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාවය අවධාරණය කළේය. මෙම යුගයේ දේශපාලනය දිවයින පුරා සිටින සියලුම දෙමළ කතා කරන ප්‍රජාවන් එකම ධජයක් යටතේ එක්සත් කිරීමට උත්සාහ කළේය.

1924 දී, ඉන්දියාවේ මදුරයි හි මීනාක්ෂි අම්මාන් කෝවිලට වන්දනා ගමනක යෙදී සිටියදී, හෘදයාබාධයක් හේතුවෙන් අරුණාචලම් මිය ගියේය. ඔහුගේ අකල් මරණය ඔහුට මෙම දේශපාලන මුලපිරීම දිගටම කරගෙන යාමට බාධාවක් විය. කලින් සඳහන් කළ පරිදි මෙම ව්‍යාපාරය ඉදිරියට රැගෙන ගියේ ජී. ජී. පොන්නම්බලම් මහතා වන අතර, ඔහු එය තවත් ඉහළ මට්ටමකටත් ගෙන ගියේය. ඔහුගේ  මේ වන විට  ප්‍රසිද්ධ “50 : 50” ඉල්ලීම මෙම සන්දර්භයෙන් උත්පන්න විය.

“50 : 50” යෝජනාවෙන් ඉල්ලා සිටියේ පාර්ලිමේන්තු නියෝජනයෙන් සියයට 50ක් සිංහල බහුතරයට සහ ඉතිරි සියයට 50 අනෙකුත් සියලුම සුළුතර ප්‍රජාවන්ට සාමූහිකව වෙන් කිරීමටයි. මෙම ඉල්ලීම පිටුපස ඇති අභිප්‍රාය වූයේ සුළුතර කණ්ඩායම් මර්දනය කිරීමට හෝ කොන් කිරීමට භාවිතා කළ හැකි අසීමිත බලයක් සිංහල බහුතරය විසින් භාවිතා කිරීම වැළැක්වීමයි.

යාපනය තරුණ සම්මේලනය – 1924

1924 නොවැම්බර් 1 වන දින යාපනය තරුණ සම්මේලනය ආරම්භ කරන ලද අතර, හැන්ඩි පෙරින්බනායගම් එහි පුරෝගාමී චරිතයක් ලෙස විශාල වශයෙන් පිළිගන්නා ලදි. මෙම සංවිධානය ලංකාවට සම්පූර්ණ නිදහසක් ලබා ගැනීම සඳහා නිර්භීත ඉල්ලීමක් ඉදිරිපත් කළ අතර එය, එහි කාලයට වඩා ඉදිරියෙන් සිටි ස්ථාවරයකි. කොංග්‍රසය වාර්ගික දෙමළ ජාතිකවාදයට ප්‍රමුඛත්වය නොදුන්නද, දෙමළ සමාජයට සමාජ ප්‍රතිසංස්කරණ දේශපාලනය හඳුන්වා දීමේදී එය මූලික කාර්යභාරයක් ඉටු කළේය. විශේෂයෙන්, එය කුල පාදක වෙනස්කම් කිරීම්වලට ක්‍රියාකාරීව විරුද්ධ වූ අතර සමාජ සමානාත්මතාවය සඳහා විවිධ මුලපිරීම් සිදු කළේය.

හැන්ඩි පෙරින්පනායකම්

තරුණ කොංග්‍රසයේ සාමාජිකයින් ඉන්දීය ජාතික කොංග්‍රසයෙන්, විශේෂයෙන් එහි වාමාංශික කණ්ඩායමෙන් සහ එහි අවිහිංසාවාදී අරගලයේ ආචාර ධර්මවලින් දැඩි ලෙස බලපෑමට ලක් විය. ඔවුන් ඉන්දියානු දේශපාලන කවයන් සමඟ සමීප සබඳතා පවත්වා ගත් අතර යාපනයේ ප්‍රසිද්ධ රැස්වීම් ඇමතීමට ප්‍රමුඛ ඉන්දියානු නායකයින්ට පවා ආරාධනා කළහ. ජවහර්ලාල් නේරු, මහත්මා ගාන්ධි සහ සරෝජිනී නායිදු වැනි පුද්ගලයින් මෙම ආරාධනා පිළිගෙන යාපනයේ සහ දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල විශාල ජනගහණයක් සහභාගී වූ රැස්වීම්වලදී දේශන පැවැත්වූහ.

මැනිං – ඩෙවොන්ෂයර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ – 1924

මැනිං – කඩෙවොන්ෂයර් ප්‍රතිසංස්කරණ යටතේ, ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයින් සංඛ්‍යාව 49 දක්වා වැඩි කරන ලදී. මෙයින් 37 දෙනෙකු නිල නොවන (තේරී පත් වූ හෝ නම් කරන ලද ගිහි සාමාජිකයන්) සහ 12 දෙනෙකු නිලධාරීන් (රජය විසින් පත් කරන ලද අය) විය. නිල නොවන සාමාජිකයින් අතර, 23 දෙනෙකු භෞමික මැතිවරණ කොට්ඨාශ මගින් තෝරා පත් කර ගත යුතු විය. එය 16 දෙනෙකු සිංහල ප්‍රජාවෙන් සහ 7 දෙනෙකු දෙමළ ප්‍රජාවෙන් වශයෙනි.

ඊට අමතරව, සාමාජිකයින් හය දෙනෙකු වාර්ගික පදනමක් මත තේරී පත් විය. ඒ යුරෝපීයයන් තිදෙනෙකු, බර්ගර් ජාතිකයන් දෙදෙනෙකු (මිශ්‍ර යුරෝපීය සම්භවයක් ඇති) සහ බටහිර පළාතෙන් එක් දෙමළ නියෝජිතයෙකු වශයෙනි. බස්නාහිර පළාත් දෙමළ ආසනය සඳහා තෝරාගත් පුද්ගලයා අරුණාචලම් මහාදේව ය.

උඩරට ජාතික සභාව සහ වාර්ගික ෆෙඩරල් යෝජනාව

1925 දී කන්ද උඩරට ජාතික සභාව පිහිටුවන ලද අතර, වෙරළබඩ සිංහල ආධිපත්‍යය විසින් උඩරට (මධ්‍යම කඳුකර) කලාපයේ දේශපාලන ස්වාධීනත්වය ආක්‍රමණය කළ හැකි බවට ඇති බිය නිසාම එය පිහිටුවන ලදී. ජනවාර්ගික සහ කලාපීය ස්වයං පාලනයක් මත පදනම් වූ ෆෙඩරල්වාදී විසඳුමක් යෝජනා කළ ශ්‍රී ලංකාවේ පළමු දේශපාලන සංවිධානය මෙය විය.

සභාවේ වාර්ගික ෆෙඩරල් යෝජනාව මඟින් දිවයින ෆෙඩරල් කලාප තුනකට බෙදීමට ඉල්ලා සිටියේය. වෙරළබඩ ප්‍රදේශ, උඩරට කලාපය සහ උතුරු-නැගෙනහිර දෙමළ කලාපය වශයෙනි. ඉන්පසු මෙම ඒකක තුන මධ්‍යම ෆෙඩරල් රජයක් යටතට ගෙන එනු ඇත.

1931 දී, ඩොනමෝර් කොමිසමේ සාකච්ඡා අතරතුර, උඩරට සභාව මෙම යෝජනාව විධිමත් ලෙස ඉදිරිපත් කළේය. එය ප්‍රවර්ධනය කිරීම සඳහා, යාපනය තරුණ සම්මේලනයේ අනුග්‍රහය යටතේ යාපනයේ ප්‍රසිද්ධ රැස්වීමක් සංවිධානය කරන ලදී. කෙසේ වෙතත්, දෙමළ මහජන මතය යෝජනාවට සහාය නොදැක්වීය. එහි ප්‍රබලම උපදේශකයෙකු වූයේ ෆෙඩරල් යෝජනා ක්‍රමයට සහාය දක්වමින් යාපනයේදී කතාවක් කළ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාය.

සර්වජන ඡන්ද බලය සහ ඉන්දියානු දෙමළ ප්‍රජාව

ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සර්වජන වැඩිහිටි ඡන්ද බලය යෝජනා කළ විට, , එමඟින් කඳුකරයේ ඉන්දියානු දෙමළ වතු කම්කරුවන්ට ඡන්ද අයිතිය ලබා දෙනු ඇතැයි බියෙන් සිංහල දේශපාලන නායකයින් එම අදහසට දැඩි ලෙස විරුද්ධ විය. මෙම ගැටලුව පිළිබඳ පාර්ලිමේන්තු විවාද අතරතුර, ඩී.එස්. සේනානායක මහතා මෙසේ සඳහන් කළේය, “ඉන්දියානුවන්ට ඔවුන්ගේම වූ ශ්‍රේෂ්ඨ රටක් තිබේ. අපට ඇත්තේ මෙම කුඩා භූමිය පමණි.” ෆ්‍රැන්සිස් මොලමුරේ උපහාසාත්මක ලෙස මෙසේ පැවසීය, “පැරණි දිනවල ලංකාව ලිප්ටන්ගේ තේ වත්ත ලෙස හැඳින්විණි. අනාගතයේදී එය ඉන්දියාවේ නුග ගස් වතුයාය ලෙස හැඳින්විය හැකිය.” මේ අතර, සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර වක්‍රව ප්‍රකාශ කළේ, “ඉන්දියානු ඡන්ද අයිතියට විරුද්ධ නොවන අය ද්‍රෝහීන්” යනුවෙනි.

අවසානයේ දී, ඩොනමෝර් කොමසාරිස්වරු නිර්දේශ කළේ රට තුළ ස්ථිර උනන්දුවක් හෝ පදිංචියක් ඇති අයට පමණක් ඡන්ද අයිතිය ලබා දිය යුතු බවයි. කෙසේ වෙතත්, 1931 මැතිවරණයේදී, ඉන්දියානු දෙමළ ජාතිකයින් දෙදෙනෙකු තේරී පත් විය. ඒ හැටන් මැතිවරණ කොට්ඨාශයෙන් පේරිසුන්දරම් සහ තලවාකැලේ සිට එස්.පී. වයිතිලිංගම් යනුවෙනි.

ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව – 1931

1927 දී, ලංකාව සඳහා නව ව්‍යවස්ථාමය රාමුවක් නිර්දේශ කිරීම සඳහා ඩොනමෝර් කොමිසම පත් කරන ලදී. ඔවුන් හඳුන්වා දුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, පසුව ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලෙස හැඳින්විණි. 1947 දී සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ප්‍රතිස්ථාපනය කරන තෙක් එය ක්‍රියාත්මක විය.

කොමිසමේ උපදේශන අතරතුර, ලංකාවේ විවිධ ප්‍රජාවන් විවිධ ඉල්ලීම් ඉදිරිපත් කළහ. සිංහල නියෝජිතයින් බ්‍රිතාන්‍ය විලාසිතාවේ කැබිනට් රජයක් ඉල්ලා සිටි අතර, උඩරට සිංහලයන් කලින් සාකච්ඡා කළ ෆෙඩරල් ව්‍යුහය යෝජනා කළහ. දෙමළ නියෝජිතයින්, වාර්ගික නියෝජනය (ජනවාර්ගිකත්වය අනුව සමානුපාතික නියෝජනය) සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටියහ. කෙසේ වෙතත්, දෙමළ ජනතාව අතර සැලකිය යුතු බලපෑමක් ඇති කළ යාපනය තරුණ සම්මේලනය, බ්‍රිතාන්‍ය පාලනයෙන් සම්පූර්ණ නිදහස ඉල්ලා සිටියේය.

ලංකාව තුළ ඒකාබද්ධ ජාතික අනන්‍යතාවයක් නොමැතිකම, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය පිළිබඳ එහි අත්දැකීම් අඩුකම සහ පරිණත දේශපාලන පක්ෂ ව්‍යුහයන් නොමැතිකම යන කරුණු උපුටා දක්වමින් කොමිසම, සීමිත ස්වයං පාලන ක්‍රමයක් නිර්දේශ කළේය. විවිධ ප්‍රජාවන්ගෙන් සාමාජිකයින් ඇතුළත් විධායක කමිටු නිර්මාණය කිරීම මෙයට ඇතුළත් විය. සුළුතර කණ්ඩායම් අතර බිය දුරු කිරීම සඳහා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් පත් කරන ලද සාමාජිකයින්, ආණ්ඩුකාරවරයාගේ බලතල, පරිපාලන කමිටු සහ රාජ්‍ය සේවා කොමිසම වැනි ආයතන ආරක්ෂිත උපක්‍රමයක් ලෙස රඳවා ගන්නා ලදී.

සර් පොන්නම්බලම් රාමනාදන් ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට දැඩි ලෙස විරුද්ධ වෙමින්, “ඩොනමෝර් සිටින තැන දෙමළ ජනයා නැත” යනුවෙන් ප්‍රකාශ කළේය. 1927 දී දේශපාලනයට පිවිසි ජී.ජී. පොන්නම්බලම් ද එය දැඩි ලෙස විවේචනය කළේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් කෝල්බෲක් ප්‍රතිසංස්කරණ මගින් ස්ථාපිත කරන ලද යටත් විජිත ඒකීය ව්‍යුහයෙන් බහුතර පාලනයක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකට පාලන අධිකාරිය මාරු කරන ලද අතර, පළමු වරට සැබෑ බලය,  සීමිත මට්ටමක වුවද  සිංහල බහුතරයට භාර දෙන ලදී.

සිංහල-බෞද්ධ දෘෂ්ටිවාදයේ නැගීමත් සමඟ, මෙම නව ව්‍යුහය අනෙකුත් ජනවාර්ගික ප්‍රජාවන් බලයෙන් බැහැර කිරීම සහ කොන් කිරීම ආරම්භ කළේය.

1833 දී කෝල්බෲක් ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමේ සිට 1931 දී ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දක්වා, බ්‍රිතාන්‍ය පාලකයින් සාමාන්‍යයෙන් වාර්ගික ගැටුමට විසඳුමක් ලෙස වාර්ගික නියෝජනය අනුමත කර තිබුණි. කෙසේ වෙතත්, 1921 දී හඳුන්වා දුන් භෞමික නියෝජනය ක්‍රමය සමතුලිතතාවයට බාධා කළේය: සිංහල නියෝජිතයින් 13 දෙනෙකු තේරී පත් වූ අතර, දෙමළ නියෝජිතයින් 3 දෙනෙකු පමණක් ව්‍යවස්ථාදායකයට ඇතුළු විය. නමුත් බ්‍රිතාන්‍යයන් තවමත් විධායක පාලනය රඳවා ගත් බැවින්, අසමතුලිතතාවයට අවම ක්ෂණික බලපෑමක් ඇති විය.

1931 ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමඟ, නියෝජිත සමතුලිතතාවය නැතිවීම, තේරී පත් වූ සාමාජිකයින්ට විධායක බලය පැවරීම සමඟ ඒකාබද්ධව, දෙමළ ජනතාව අතර දේශපාලනික වශයෙන් බැහැර කිරීමේ හැඟීමක් ඇති කළේය.

ප්‍රතිචාර වශයෙන්, දෙමළ නායකයින් දැඩි අතෘප්තිය පළ කළහ. බ්‍රිතාන්‍ය බලධාරීන් පත් කරන ලද සාමාජිකයන්, ආණ්ඩුකාරවරයාගේ සංචිත බලතල, විධායක කමිටු සහ රාජ්‍ය සේවා කොමිසම සුළු ජාතීන් සඳහා ආයතනික ආරක්ෂාවක් ලෙස පෙන්වා දුන්හ. කෙසේ වෙතත්, මෙම පියවර 1931 න් පසු ජනවාර්ගික ගැටලුවට මූලික යෝජිත විසඳුම් බවට පත්විය.

රාමනාදන් ප්‍රසිද්ධියේ ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව “දෙමළ ජනතාවගේ ගෙල වටා ඇති තොණ්ඩුවක්” ලෙස හැඳින්වීය. ව්‍යවස්ථාදායක සභාවේදී, ව්‍යවස්ථාව තනි ඡන්දයකින් සම්මත කරන ලදී. මෙය මඩකලපුවේ නියෝජිත ඊ.ආර්. තම්බිමුත්තු විසින් ප්‍රකාශ කරන ලදී.

තව දුරටත්…

S.A. යෝතිලින්ගම්
+ posts

ඔහු යාපනය විශ්ව විද්‍යාලයෙන් දේශපාලන විද්‍යාව පිළිබඳ උපාධියත්, මදුරායි කාමරාජ් විශ්වවිද්‍යාලයෙන් ගෞරව උපාධියක් සහ ශ්‍රී ලංකා නීති විද්‍යාලයෙන් නීති උපාධියක්ද ලබාගෙන ඇත. එසේම ඔහු ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංවිධාන, ශ්‍රී ලංකාවේ ජාතික ගැටුමේ ඉතිහාසය සහ දේශපාලන විද්‍යාවට හැඳින්වීමක් ගැන කෘති ඇතුළු බොහෝ කෘති රචනා කර තිබේ.


Discover more from සාක්ෂිය

Subscribe to get the latest posts sent to your email.

Follow Us

Archives

Go toTop