සෝමිතරන් යනු ඊලාම්හි ජනප්‍රිය මාධ්‍යවේදියෙකි, ඔහුගේ ප්‍රකට වාර්තා චිත්‍රපටය වන එරියම් නිනයිවුගල් (දැවෙන මතකයන්) , යාපනය මහජන පුස්තකාලය දැවීම පිළිබඳ ජාත්‍යන්තර අවධානයක් යොමු කරවීමට හේතුවිය.
එය සිංහල ජාතිකවාදී රජය විසින් සිදු කරන ලද සංස්කෘතිය මකාදැමීමේ ප්‍රචණ්ඩ ක්‍රියාවකි. එතැන් සිට ඔහු බොහෝ වාර්තා චිත්‍රපට ගණනාවක් අධ්‍යක්ෂණය කර ඇති අතර දැනට ඔහුගේ පළමු දිගු චිත්‍රපටයේ වැඩ කටයුතු කරමින් සිටී.

ඊළාමයට කවියෝ හෝ ලේඛකයෝ අඩුවක් නැහැ. නමුත් සමාජීය සහ දේශපාලනික වශයෙන් ඉතා වැදගත් ප්‍රශ්න අසලට යාමට, විශේෂයෙන්ම වාර්තා චිත්‍රපට නිර්මාණ ක්ෂේත්රයේ ක්‍රියා කිරීමට ඉදිරිපත් වුණේ අතිශය සුළු පිරිසක් පමණි. ඔබට මේ මඟ පිවිසෙන්න ඇරයුම ලැබුණේ කෙසේද? සහ, දෙමළ ජනතාව මුහුණ දෙන අතිවිශේෂයෙන් සංවේදී කරුණු වාර්තා කිරීමට ඔබ ඇරඹුවේ කෙසේද?
අපි අපේ ලේඛනගත කිරීම් බොහොමයක් අහිමි කරගත් ජනතාවක්. අද අපි යම් ආකාරයක අතථ්‍ය යථාර්ථයක ජීවත් වෙමු. වාර්තා චිත්‍රපට නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය හරහා, අපි අපේ කතා, අපේ ජීවිත සහ අපේ ඉතිහාසයේ සත්‍යයන් මේ පරම්පරාවට සහ ඉන් පසුව එන පරම්පරාවට ඉදිරියට ගෙන යා යුතුයි.
මට ඕනෑම වේලාවක ප්‍රබන්ධ චිත්‍රපටයක් කළ හැකියි. නමුත් අද මම නිර්මාණය කිරීමට අපොහොසත් වන වාර්තා චිත්‍රපටයක් නැවත කිසිදා කළ නොහැකි විය හැකියි – මන්ද හෙට වන විට එම සත්‍යය අතුරුදහන් විය හැකි හෝ නැවත ලබා ගත නොහැකි විය හැකිය. අපි දැන් ජීවත් වන්නේ ගොඩනඟන ලද ඉතිහාසය විසින් පාලනය කරනු ලබන ලෝකයක ය.
අපට උගන්වා ඇත්තේ ප්‍රබන්ධය සත්‍යයක් ලෙස විශ්වාස කිරීමටයි. මමම කෙටිකතා, කවි. ලිවීමෙන් පටන් ගත්තෙමි. නමුත් අවසානයේ, එය මගේ සැබෑ කැඳවීම නොවන බව මට වැටහුණි. මම එය පැහැදිලිව දුටු පසු, මගේ දිශාව වෙනස් කලෙමි.
මගේ මූලික හරය තුළ, මම මාධ්‍යවේදියෙක්. මම තිනක්කුරල් සමඟ ආරම්භ කළ අතර, පසුව ඉංග්‍රීසි භාෂා සතිපතා පුවත්පතක් වන නෝර්ත් ඊස්ටර්න් හෙරල්ඩ් හි තාරකි සිවරාම් සහ ජේ.එස්. තිස්සනායගම් සමඟ වැඩ කළෙමි. එම කාලය තුළ, බීබීසී ඉංග්‍රීසි සේවය සඳහා නිෂ්පාදනය කරන ලද රූපවාහිනී වාර්තා චිත්‍රපට සඳහා දායක වීමට මට අවස්ථාව ලැබුණි.
මම ෆ්‍රැන්සිස් හැරිසන් සමඟ ව්‍යාපෘති කිහිපයක සමීපව කටයුතු කළෙමි. මා දායක වූ පළමු වාර්තා චිත්‍රපටයම අතුරුදහන් වූවන් පිළිබඳව මා ලියූ ලිපියක් මත පදනම් විය. එය මාගේ මෙම ක්ෂේත්‍රයට පිවිසුම් ස්ථානය විය.
එම චිත්‍රපටයේ කැමරාකරු බීබීසී සඳහා ඉරාකයේ සහ ඇෆ්ගනිස්ථානයේ යුද්ධ ආවරණය කර තිබුණි. ඔහුගේ කතාවලට සවන් දීමෙන් සහ දෘශ්‍ය කථන ශිල්පයේ ප්‍රබලත්වය තුළ ගිලී ගිය මට, එම මාධ්‍යයේ ආකර්ෂණය දැඩියෙන්ම හැඟුණි.”සිනමාවේ පළමු බීජය මා තුළ රෝපණය වූයේ එවිටය.
ඉන්පසු, මම මගේ සගයා සහ සංස්කාරක සිවකුමාර් සමඟ ස්වාධීන වාර්තා චිත්‍රපට නිර්මාණය කිරීමට පටන් ගත්තෙමි. අපේ මූලික සැලැස්ම වුණේ යාපනය මහජන පුස්තකාලය ගිනි තැබීම වාර්තා කිරීමයි. අපි නිර්මාණය කිරීමට අදහස් කළ පළමු චිත්‍රපටය එයයි. නමුත් මගේ සැබෑ පළමු චිත්‍රපටය යාපනය ගැන නොවේ. එය බෝපාල් ගැනයි – යුනියන් කාබයිඩ් ගෑස් ව්‍යසනයෙන් අහිමි වූ ජීවිත ගැනය.
ඉන්පසු කූඩලූර් හි SIPCOT රසායනික කර්මාන්ත නිසා ඇති වූ පාරිසරික විනාශය පිළිබඳ චිත්‍රපටයක් නිකුත් විය. අනතුරුව, 2004 සුනාමිය සහ එය වඩාත් නරක අතට හැරුණු යුද්ධයට සම්බන්ධ විනාශය පිළිබඳ එකකි. ඒවා සම්පූර්ණ කිරීමෙන් පසුව පමණක් මම පුස්තකාලයට ආපසු ගියෙමි සහ එරියම් නිනයිවුගල් (දැවෙන මතකයන්) නිර්මාණය කළෙමි.
2006 වන විට, ශ්‍රී ලංකාවේ දේශපාන වාතාවරණය නැවතත් වෙනස් වී ගිය අතර, සැලසුම් කළ පරිදි චිත්‍රපටය සම්පූර්ණ කිරීම දුෂ්කර විය. නමුත් අවසානයේ අපි පුස්තකාලය ගිනි තැබීමේ 25 වන සංවත්සරය සඳහා නියමිත වේලාවට එය සකස් කළෙමු.
ඉන් අනතුරුව යුද්ධය අවසන් විය. එමෙන්ම වහාම මම මුලතිව් සාගා නමින් වාර්තා චිත්‍රපටයක් නිර්මාණය කළෙමි, එය යුද්ධයෙන් පසු පළමු දෙමළ වාර්තා චිත්‍රපටය බවට පත් විය. එ කල මම ජීවත් වුණේ තමිල්නාඩුවේය. ශ්‍රී ලංකාවට වඩා තරමක් සුවපහසු වුවත්, තවමත් නිරන්තර නිරීක්ෂණය යටතේය. එතැන් සිට පවා, දැවැන්ත බාහිර බලපෑම් හේතුවෙන් මට චිත්‍රපටය ගෝලීය වශයෙන් ප්‍රවර්ධනය කිරීමට නොහැකි විය.
තමිල්නාඩුවේ ඊලාම් දෙමළ ක්‍රියාකාරීන් මුහුණ දෙන ආකාරයේ පරීක්ෂාවන් සහ සීමාවන් පිළිබඳව ඔබ දැනටමත් හුරුපුරුදු වී ඇති බව දනිමි . මට ද එය එලෙසම විඳදරාගැනීමට සිදු විය.ඉන්පසු, මම ශ්‍රී ලංකාවේ ඝාතනයට ලක් වූ මාධ්‍යවේදීන් පිළිබඳ වාර්තා චිත්‍රපටයක් නිර්මාණය කළෙමි. ඉන්පසු ඊලාම්හි බිඳුණු ඉතිහාසයේ මූලයන් සොයා ගැනීමට උත්සාහ කරන චිත්‍රපටයක් වන In Search of Roots in a Blasted Land නිර්මාණය කළෙමි.
මම මගේ වාර්තාමය කටයුතු දිගටම කරගෙන යමි. යුද්ධය අවසන් වීමෙන් පසු පසුගිය වසර දහය තුළ, මවිසින් තවත් කථා කිහිපයක් ලේඛනගත විය. ඉන් බොහොමයක් දැනට පශ්චාත් නිෂ්පාදන කටයුතු මට්ටමේ පවතී.

ශ්‍රී ලංකා රජය සහ දෙමළ ඊලාම් විමුක්ති කොටි (LTTE) අතර සටන් විරාම ගිවිසුම පැවති සමයේදී මාධ්‍යවේදියෙකු ලෙස සේවය කිරීම ගැන ඔබ බොහෝ විට කතා කර ඇත. එම වසරවලදී දිවයින පුරා බොහෝ මාධ්‍යවේදීන් මිය ගියහ. ඔබ පෞද්ගලිකව කුමන ආකාරයේ අනතුරුවලට මුහුණ දුන්නේද?
ඒ කාලයේ ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදියෙකු ලෙස වැඩ කිරීම යනු, ගිනිඅවි ප්‍රහාරය මැද සිට වැඩ කිරීමක් වැනි ය. මම මුලින්ම චෙන්නායි වෙත පැමිණියේ 2004 දී, නමුත් මගේ වැඩ කටයුතු ස්ථාන දෙකෙහිම දිගටම පැවතුනි. මම 2007 දක්වාම නෝර්ත් ඊස්ටර්න් හෙරල්ඩ් පුවත්පතට ලියමින් සිටියෙමි. නමුත් ඉන්පසු, තත්වය නිසා මට චෙන්නායි හි ස්ථිරවම පදිංචි වීමට සිදුවිය.
මා සේවය කළ අවසාන පුවත්පත වන නෝර්ත් ඊස්ටර්න් හෙරල්ඩ් පුවත්පත ශ්‍රී ලංකා රජය විසින් තහනම් කරන ලද අතර, එහි කර්තෘ තිස්සනායගම් අත්අඩංගුවට ගන්නා ලදී. රජයේ ආරක්ෂාවට එරෙහිව ක්‍රියා කළ බවට චෝදනා එල්ල වී ඔහුට වසර 20 ක සිර දඬුවමක් නියම විය. 2003 දී මාව එම ප්‍රකාශනයට ගෙන ආවේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨතම මාධ්‍යවේදියෙකු වන තාරකී සිවරාම් විසිනි. ප්‍රමුඛ දෙමළ ප්‍රවෘත්ති වෙබ් අඩවියක් වන ටැමිල්නෙට් ද ඔහුගේ කතුවැකි දැක්ම යටතේ ක්‍රියාත්මක විය.
2005 අප්‍රේල් අග භාගයේදී, මම වවුනියාවේ සිට කොළඹ බලා රාත්‍රී බස් රථයකින් ගමන් කරමින් සිටියදී, මගේ සගයා වන සිවකුමාර් මට කතා කර සිවරාම් පැහැරගෙන ගොස් ඇති බව පැවසීය. පසුදා උදෑසන වන විට, ඔහුගේ දේහය කොළඹ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පිටුපස මාර්ගය අයිනේ දමා ගොස් තිබුණි.
2002 සාම සාකච්ඡා ආරම්භ වීමටත් පෙර සිටම, බොහෝ මාධ්‍යවේදීන් මරා දමා තිබුණි. සටන් විරාමය ක්‍රියාත්මක වීමෙන් පසු, නැගෙනහිර එල්ටීටීඊය සහ කරුණා කණ්ඩායම අතර භේදය, විශේෂයෙන් මාධ්‍යවේදීන්ට එරෙහිව නව තර්ජන රැල්ලක් මුදා හැරියේය.
2004 දී, මඩකලපුවේ මාධ්‍යවේදියෙකු වූ නඩේසන් වෙඩි තබා ඝාතනය කරන ලදී. ඉන්පසු, නැගෙනහිර තත්ත්වය කෙතරම් භයානකද යත්, බොහෝ මාධ්‍යවේදීන්ට කලාපයට ඇතුළු වීමට පවා නොහැකි විය. සිවරාම් ඝාතනය හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කළේය. එය දෙමළ මාධ්‍යවේදීන්ට විශාල තැති ගැන්වීමක් ඇති කළේය.
සියල්ලෝම අත අවි දරා තිබුණි. එනම් ඔබ යමෙකු ගැන විවේචනාත්මකව ලිව්වොත්, නො එසේ නම් යමෙකු අකමැති දෙයක් ගැන හඬ නැගුවොත්, ඔබට වෙඩි උණ්ඩයකින් පිළිතුරු දිය හැකිය.එය සාමාන්‍ය දෙයක් බවට පත් වී තිබිණි.
තවද මෙය යුද්ධය අතරතුර නොවේ. මෙය ඊනියා “සාම කාලය” අතරතුර ය. සටන් විරාමය අතරතුර මම යාපනයේ තිනක්කුරල් හි සේවය කරමින් සිටියදී, වාර්තාවක් ප්‍රකාශයට පත් කළෙමි. සටන් විරාමයට පෙර යාපනයේ ක්‍රියාකාරීව සිටි රජයට පක්ෂපාතී සන්නද්ධ කණ්ඩායමක කාර්යාලයෙන් මට ඇමතුමක් ලැබුණි. අනෙක් කෙළවරේ සිටි හඬ මෙසේ පැවසීය: “ඔයාගේ බය නැති වෙලා වගේ – දැන් ඔයාගේ හිතට එන දේ ලියනවා නේද?”
“ඒකමයි ඒ වෙලාවේ යථාර්ථය. ඒ දුරකථන ඇමතුම ඒ සමයේ අපට ලැබුණු භීෂණ හැසිරීම්වල සාමාන්‍ය උදාහරණයක් වුණා — විශේෂයෙන්ම 2002 පසුව. එවකට අප අතර බොහෝ දෙනෙක් එවැනි භීෂණ හමුවේත් වැඩ කරමින් සිටියා. ඒ නිසාම තමයි නිමලරාජන් වැනි මාධ්‍යවේදීන් ඒ කාලසීමාව තුළ ඝාතනයට ලක්වුණේ.”
තර්ජනයක් එල්ල කළේ රජය සහ එහි පැරාමිලිටරි සහචරයින් පමණක් නොවේ. කොටි සංවිධානයද තමන් එකඟ නොවන අදහස් දරන මාධ්‍යවේදීන් ඝාතනය කළහ. නමුත් බොහෝ අවස්ථාවලදී, කොකා ඇද්දේ කවුද කියලා කිසිවෙක් නිවැරදිවම දැනගත්තේ නැත.මේ සම්බන්දයෙන් පරීක්ෂණ නොතිබුණි. අපට කළ හැකි වූයේ ඝාතනයට ලක් වූ මාධ්‍යවේදියාගේ කෘති කියවා, ඔවුන් ලියූ දේවල දේශපාලනය තුළින්, ඔවුන් ඝාතනය කරන්න ඇත්තේ කවුදැයි තේරුම් ගැනීම පමණි.
ශ්‍රී ලංකාවේ, මාධ්‍යවේදීන් ඝාතනය කළ අය සැමවිටම එකම වාක්‍ය ඛණ්ඩයකින් හඳුන්වනු ලැබීය: ඒ “නාඳුනන තුවක්කුකරුවන්”වශයෙනි.

ඔබගේ වාර්තා චිත්‍රපටය වන එරියම් නිනයිවුගල් (දැවෙන මතකයන්) යාපනය මහජන පුස්තකාලය ගිනි තැබීම පමණක් නොව එහි දේශපාලන සන්දර්භය ද ගවේෂණය කරයි. ඒ අර්ථයෙන් ගත් කල, එය ඊලාම් දෙමළ ජනයා සඳහා දේශපාලන වාර්තාවක් ලෙස පවතී. මෙම චිත්‍රපටය ඉන්දියාවේ විවිධ ප්‍රදේශවලදී කෙසේ පිළිගැනීමට ලක් වුනේද?
මෙම වාර්තා චිත්‍රපටය 2008 ජුනි 1 වන දින නිකුත් කරන ලදී. ඒ කාලය තුළ ශ්‍රී ලංකාවේ යුද්ධය එහි උච්චතම අවස්ථාවට පැමිණ තිබූ බැවින් චිත්‍රපටය විශාල අවධානයක් දිනා ගත්තේය. එය තමිල්නාඩුව පුරා පුළුල් ලෙස ප්‍රදර්ශනය විය. ඒ කාලයේ එය DVD ආකෘතියෙන් වැඩිම අලෙවියක් ඇති දෙමළ වාර්තා චිත්‍රපටය වු බව මම විශ්වාස කරමි. නමුත් එවැනි වාර්තා චිත්‍රපට විදේශයන්හි ජීවත් වන දෙමළ ඩයස්පෝරාව වෙත ඊටත් වඩා ඵලදායී ලෙස ළඟා විය යුතු යැයි මම තවමත් සිතමි.
එරියම් නිනයිවුගල් දෙමළ, ඉංග්‍රීසි, ප්‍රංශ සහ ජර්මානු භාෂාවලින් නිෂ්පාදනය කරන ලදී. එය හිතාමතා කළ තේරීමක් විය – මන්ද දෙමළ සම්පූර්ණයෙන්ම තේරුම් නොගත හැකි දෙමළ දරුවන් ඇතුළු ඊළඟ පරම්පරාවට මෙම කතාව ලැබීමට අවශ්‍ය විය. තවද දෙමළ නොවන ප්‍රේක්ෂකයින් ද එයට ප්‍රවේශ වීමට අපට අවශ්‍ය විය. මෙම චිත්‍රපටය ජර්මනිය, පෝලන්තය, ඇමරිකා එක්සත් ජනපදය, මැලේසියාව සහ ඉන්දියාව පුරා චිත්‍රපට උළෙල කිහිපයකදී ප්‍රදර්ශනය කරන ලදී.
එය තමිල්නාඩුවේ බොහෝ ප්‍රධාන නගරවල සහ කේරළයේ ස්ථාන විස්සකට වඩා ප්‍රදර්ශනය විය. ඇත්ත වශයෙන්ම, මගේ තවත් චිත්‍රපටයක් වන මුලතිව් සාගා, කේරළයේ දැවෙන මතකයන් වලට වඩා වැඩි ස්ථානවල ප්‍රදර්ශනය විය. ඒ බොහෝ දුරට එකල පැවති දේශපාලන වාතාවරණය නිසා ය: කේරළයේ බුද්ධි අංශ උපුටා දක්වමින්, මම චිත්‍රපටය එල්ටීටීඊ හිතවාදී ප්‍රචාරණයක් ලෙස ප්‍රදර්ශනය කරන බවට චෝදනා කරමින් මාතෘභූමි මුල් පිටුවේ ලිපියක් පළ කළේය. මෙය කේරළ මාධ්‍යවේදීන්ගේ සංගමයෙන් පසුබෑමකට තුඩු දුන් අතර, ඔවුන් ප්‍රකාශනයේ නිදහස පිළිබඳ මූලධර්මය යටතේ චිත්‍රපටය ආරක්ෂා කළ අතර, එය කේරළ පොලිසිය තිරගත කිරීමේ සීමාවන් පැනවීමට උත්සාහ කිරීමට ද හේතු විය.
පසුව, මුලතිව් සාගා කේරළ ප්‍රාන්ත චිත්‍රපට සම්මාන උළෙලේදී තිරගත වූ විට සහ ප්‍රධාන අමාත්‍යවරයාගෙන්ම සම්මානයක් ලැබුණු විට, එවකට පැවති ආතතිය යම් මට්ටමකට සමනය විය. චිත්‍රපටය තවත් බොහෝ ස්ථානවල ප්‍රදර්ශනය කිරීමට හැකි විය. අවසානයේ, ඉන්දියාව පුරා, එය සිය වතාවකට වඩා ප්‍රදර්ශනය විය. අපගේ විනාශය ගැන කිසිවක් නොදැන සිටි ජනතාවට අපගේ දේශපාලනය ගැන කතා කිරීමට චිත්‍රපටය අපට දොර විවර කළේය.
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ශ්‍රී ලංකා රාජ්‍යය විසින් ඝාතනය කරන ලදී. ඔහු දෙමළ ජනතාවට එරෙහිව සිදු කරන ලද සමූලඝාතනවලට සහාය දක්වමින් ලියූ අයෙකු නොවේ. නමුත් ඔහු එවකට පාලක පවුලේ අධිකාරීවාදය දැඩි ලෙස විවේචනය කළ අයෙකි. ඔහු වැනි අවස්ථාවන්හිදී පවා ජාත්‍යන්තර ප්‍රජාවෙන් අර්ථවත් යුක්තියක් ලැබී නොමැත. ඔබට ඒ සඳහා හේතුවක් කිව හැකිද?
පළමුව, මම පැහැදිලිව කිව හැකියි.ලසන්ත දෙමළ ජනතාවට එරෙහි ප්‍රචණ්ඩත්වයට සහාය දුන් අයෙකු නොවේ.
ඔහු ශ්‍රී ලංකා රජය විසින් ප්‍රවර්තනය කරන ලද භීෂණයට එරෙහිව බලවත් හඬක් නැගූ අයෙකි. සිවරාම් ඝාතනය කිරීමෙන් පසු මට ඔහු සමඟ සම්මුඛ සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලැබුණි, එබැවින් මට මෙය විශ්වාසයෙන් කිව හැකිය. ඔහු කොටින්ගේ ආධාරකරුවෙකු නොවූ අතර, වෙනම රාජ්‍යයක් ලෙස දෙමළ ඊලමක් විශ්වාස කළේ ද නැත. නමුත් ඔහු සාධාරණ දේශපාලන විසඳුමක් හරහා දෙමළ ජනතාවට යුක්තිය ලැබිය යුතු බව විශ්වාස කළ සිංහල මාධ්‍යවේදියෙකි.
ඔබ ඔහුගේ අවසාන කතුවැකිය කියෙව්වොත්, ඔහු සිටි ස්ථානය ඔබට වැටහෙනු ඇත.
නමුත් මීලගට අප ඇසිය යුතුම වන්නේ මෙම “ජාත්‍යන්තර ප්‍රජාව” යනු සත්‍ය වශයෙන්ම කවුද? යුක්තිය පැමිණිය යුත්තේ කොහෙන්ද?යන්නය.
ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනයට පෙර සහ පසුවද, ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් ඝාතනය, අතුරුදහන් වීම සහ පැහැර ගැනීම් වලට ලක්වී ඇත. බලය රැඳවූ පක්ෂය කුමක් වුවද, මේ තත්ත්වය නොවෙනස් විය. ප්‍රධාන දේශපාලන සන්ධාන දෙකම මාධ්‍යවේදීන්ට එරෙහි සිදුකළ මෙම අපරාධවලට වගකිව යුතුය.”
රිචඩ් ද සොයිසා ඝාතනය කරන විට එක්සත් ජාතික පක්ෂය (එජාප) බලයේ සිටියේය. එකල මහින්ද රාජපක්ෂ මානව හිමිකම් ගැන කතා කරමින් එම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ අපරාධ හෙළා දකිමින් සිටියේය. සිවරාම් ඝාතනය කරන විට චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපති වූවාය. පසුව ඇය මහින්දගේ මාධ්‍ය මර්දනය ගැන කතා කළාය. දෙමළ ජාතික සන්ධානය චන්ද්‍රිකාට සෙල්වනායගම් පියතුමා වෙනුවෙන් අනුස්මරණ කතාවක් කිරීමට පවා ආරාධනා කළේය. මේවා අප අත්විඳ ඇති උත්ප්‍රාසයන් ය.
අද දක්වාම, ඝාතනයට ලක් වූ එක මාධ්‍යවේදියෙකුටවත් යුක්තිය ලැබී නැත.
මහින්දගේ පාලන සමයේදී, කාටූන් ශිල්පී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලදී. ඔහුගේ නඩුව පිළිබඳ පරීක්ෂණ කඩිනම් කර යුක්තිය ඉටු කරන බවට පොරොන්දු වෙමින් රනිල්-මෛත්‍රී සන්ධානය බලයට පත්විය. වසර හතරක් තුළ ඔවුන් කිසිවක් හෙළි කළේ නැත. මෙහිලා අප පැහැදිලිව කිව යුතු වන්නේ එක්නැලිගොඩ අතුරුදහන් වූයේ ඔහු දෙමළ ජනතාව වෙනුවෙන් කාටූන් ඇන්ද නිසා නොවන බවය.
මිනිස්සු “ජාත්‍යන්තර ප්‍රජාව” ගැන කතා කරන විට ඔව්, දෙමළ ජනතාව එයින් යුක්තිය ඉටු වේ යැයි බලාපොරොත්තුවෙන් සිටිති. අපි අවුරුදු දහයකට වැඩි කාලයක් වසා දැමූ අධිකරණයක දොරටු අසල අනාථයන් මෙන් බලා සිටිමු.
හොඳම අවස්ථාව නම්, ජාත්‍යන්තර සමාජ පීඩනය මගින් තවත් ඝාතන සිදුවීම තහනම් කළ හැකි වුවත්, සත්‍ය සාධාරණය වෙනුවෙන් අවශ්‍ය වන්නේ රටවල් අතර දේශපාලන ක්‍රමවේදයේ ගැඹුරු, ආකර්ශණීය ව්‍යුහමය වෙනසක් පමණි. එවැනි වෙනසක් සිදු නොවන්නේ නම්, අපට කිසිඳු සාධාරණයක් ලැබෙන්නෙ නැත. එයට අඩුවක් ද නොමැත.
ඔබේ දේශපාලන විශ්වාසයන් ගැන ඔබට විස්තර කළ හැකිද?
කුඩා කල සිට මා ඇති දැඩි කළ වාර්ගික අනන්‍යතාවය පිළිබඳ හැඟීම සහ විමුක්තිය සඳහා වූ ආශාව පහසුවෙන් අතුරුදහන් වන දෙයක් නොවේ. නමුත් ඒ සඳහා අප ගෙවූ මිල අතිමහත් ය. මම කිසිසේත් යුද්ධය ආදර හැඟීමක් බවට පත් නොකරමි. අවුරුදු දහයක කාලයකට පෙර සිට මව්බිම තුළද විදේශීය සරණාගත ජීවිතය තුළද මම විවිධ පුද්ගලයින් මුණගැසී, ඔවුන්ගේ කතාවලට සවන් දී, ඔවුන්ගේ ජීවිතතුළ පවතින විනාශය මම ස්වයං නිරීක්ෂණය කළෙමි.” මේ සියල්ල මගේ සිත මත දැඩි බරක් වී ඇත.

වෛරය යනු සෑම දේම විනාශ කරන විශාල බලවේගයකි. නමුත් ප්‍රේමය සහ සාධාරණත්වය පදනම් වූ මගක් පමණක්, අඩු හානියක් මත පදනම් වූ විමුක්තියක් සොයාගෙන යා හැකි පියවර වේ. ඒ වැනිම මාර්ගයක්ම අද ඊලාම් ජනතාවගේ අවශ්‍යතාව වී ඇත.”
මානව විමුක්තිය, සමානාත්මතාවය, පුද්ගල ගෞරවය සහ ජීවත්වීමේ අයිතිය මේවා යථාර්ථයෙන් රැකිය යුතු මූලික වටිනාකම් වේ. මගේ පළමු චිත්‍රපටය භෝපාලයේ ජනතාවට සිදු වූ අයුක්තිය පිළිබඳවයි. එවකට මම ඈතට අමතක වූ ඊලාමයේ කොනකින් ආ තරුණයෙකු විය. සිතියමක බෝපාලය කුමන ස්ථානයෙද යන්න පවා නොදැන සිටියෙමි. 1984දී, විෂ වායුවක් පිටවීමෙන් දස දහස් ගණනක් මියගියහ. එහෙත්, එම ජනතාවට සත්‍ය සාධාරණය කිසිදා හිමිවුණේ නැත. අපරාධකරුවන් ආරක්ෂා කළ ඉන්දීය ජාතික කොංග්‍රස් රජය 2004 දී නැවතත් එම අපරාධකරුවන් සමඟ නව ගිවිසුමක් අත්සන් කළේය.
ඒ ගෑස් කාන්දුවේ බලපෑම් පරම්පරා දෙකක් පුරා පැවතුනි. වැරදිකාර සමාගම නව ආයතනික නාමයක් යටතේ ඉන්දියාවට නැවත ඇතුළු විය. යුද අපරාධ පමණක් අද්විතීය නොවේ. ආයතනික අපරාධ ඒ තරමටම විනාශකාරී ය. බෝපාල්හි දුක් විඳි අය විසින් පරම්පරා ගණනාවක් පුරා දරා සිටින ශාරීරික හා මානසික තුවාල, යුද්ධයෙන් පසු ඊලාම්හි ජනතාව විසින් ගෙන යන වේදනාවට වඩා වෙනස් නොවේ.
දැන් වනවිට ඔබ මගේ දේශපාලන දර්ශනය පැහැදිලිව තේරුම්ගෙන ඇතැයි සිතමි. එය වෙළඳාමේ නාමයෙන් දේශසීමා මකා දමන – සහ දේශපාලනයේ නාමයෙන් ඒවා දැඩි හා කුරිරු කරන ලෝකයකට එරෙහිව නැගී සිටින දේශපාලනයකි. බලවත් බහුතරයක ආශාවන් උතුම් බවට පිළිගනිමින්, සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් විනාශ කරමින් පවත්නා දේශපාලන ක්‍රමයකට එරෙහිවයි. ඒ සෑමදෙයටම විරුද්ධව සිටින දේශපාලන මාර්ගය, ඒ මගේ දේශපාලනයයි.
Thanks Yaavarum.com
Discover more from සාක්ෂිය
Subscribe to get the latest posts sent to your email.

Follow Us