September 6, 2025

මහලු මිනිසාගේ ආත්මය

සයන්තන්

දවස උදාවී ආලෝකය පැතිරෙන්නට පටන් ගත් විට, මම එය භූමදාන කළ ස්ථානයේ මලක් තැබීමට ගියෙමි. නමුත්, ස්වාමීනි… ඔවුන් මෘදු දරුවා මුද්‍රා තැබූ වළ හාරා පස විසුරුවා හැර තිබුණි. මට එය දරාගත නොහැකි විය. මට එය කළ නොහැකි විය…

මහලු මිනිසා නඩේසු ආරම්භ කරන විට, එය භූත කතාවක පළමු ගැටය පහසුවෙන් ලිහා දැමීමක් මෙනි. මම කෙළින් වී මගේ හිස ඔහුට සමීප කළෙමි. කිසිවෙකු තවදුරටත් මෙවැනි බියකරු කතා නොකියයි – කඳු හතක් ගැන, ගුහාවක් තුළ ගිරවෙකු තුළ තම ආත්මය සඟවා ගන්නා මන්තර ගුරුකම් කරන්නන් ගැන, ආශාවන් ඉටු කරන පිටුපසින් පැළ වූ සුදු පිහාටු සහිත සුරංගනාවියන් ගැන.

ඊයේ සවස, තරුණ කාන්තාවක් තම කුඩා දරුවාට පෝෂණය කරමින්, බැණ වදිමින් සහ තර්ජනය කරමින්, “කට අරින්න… නැත්නම් මම ඔබව හමුදාවට භාර දෙන්නම්” යැයි පවසමින් සිටිනු මම දුටුවෙමි. මම සිතුවෙමි – භූතයන් සහ ගොබ්ලින් පවා හමුදාවට බියෙන් පලා යන්නට ඇත.

“ඒ දවස්වල ඇඳිරි නීතිය කළුවර වැටෙන්නත් කලින් පටන් ගන්නවා. උදේ හයේ ඉඳන් හවස හය වෙනකම් – මිනිස්සුන්ට අවසර තිබුණේ එච්චරයි. ඊට පස්සේ, ඔයාට ගෙදර ඇතුලේ හිරවෙලා ඉන්න සිද්ධ වුණා. හදිසි අවස්ථාවකදී පවා, ඔයාට හෙල්ලෙන්න බැරි වුණා,” ඔහු කතාවේ දෙවන ගැටය ගැට ගසමින් පැවසීය. ඔහු දේශීය අරක්කු ෂොට් එකක් වතුරට දාලා බිව්වා. වස ගිලිනවා වගේ, ඔහු මුහුණ ඇඹරුවා, තොල් හැම දිශාවකටම කැරකුණා.

“දැන් වගේම, ඒ කාලේත් එහෙමයි. හැම වීදියකම රයිෆලයක් අතැතිව සොල්දාදුවෙක් හිටියා. හරියටම හයට, බයිසිකලයකින් ඔවුන් පසුකර යන්න සිද්ධ වුණොත්, ඔබේ පිටුපස දැඩි වෙනවා – සීතලෙන් දත් ගැටෙනවා වගේ. ඕනෑම මොහොතක, උණ්ඩයක් ඔබේ පපුව ඉරා දැමිය හැකියි. මම එය මගේ ඇස් දෙකෙන්ම දැක තිබෙනවා. සෙවනැල්ලෙන් ඝන වූ එක් සන්ධ්‍යාවක්, මංසන්ධියේදී – මුරපොලේදී. ඇතුළත, සොල්දාදුවා තම රයිෆලය පෙන්වාගෙන සිටගෙන සිටියේය. මම මගේ හිස පහත් කර ඔහු පසුකර ගියෙමි. මොහොතකට පසු, ඔබේ වයසේ සිටින තරුණ පිරිමි ළමයෙක් යතුරුපැදියකින් මා පසුකර ගියේය. ඒ ශබ්දය විතරයි ඇහුණේ – ඩබ්. බයිසිකලය පැද්දුණා, කටු වැටක හැප්පුනා. ඊට කලින් කොල්ලා වැටිලා තිබුණා. භීතිය ඔබව අල්ලා ගන්නා විට, ඔබේ ශරීරය කපු බවට හැරෙනවා – ඒක තමයි දැනුණේ. මම සම්පූර්ණයෙන්ම වෙහෙසට පත් වුණා ස්වාමිනි…”

නඩේසුගේ වචන රූප බවට පත් විය. ඔවුන් මාව කඳු බෑවුමකට ඇදගෙන, තල්ලු කරමින්, ඉහළට ඇදගෙන ගියා. ඔහු හදිසියේම නතර වූ විට, මගේ කුතුහලය පුපුරා ගියා.

“ඇයි එයාලා එයාට වෙඩි තිබ්බේ?” මම ඇසුවා

ජීවිතයේ පළමු වතාවට අමුතු දෙයක් දකිනවා වගේ නඩේසු මා දෙස බැලුවා. ඔහුගේ දෑස් පටු විය – ඔබ ඇත්තටම දන්නේ නැද්ද? කියා අසන්නාක් මෙන්.

“ඒ මොන වගේ ප්‍රශ්නයක්ද? තුවක්කුවෙන් වෙඩි තැබූ එකා සහ එය නැති එකා මැරුණා. එච්චරයි,” ඔහු පැවසීය.

මම නිහඬව සිටියෙමි.

නඩේසු අරක්කු බෝතලය අතට ගෙන එය ඔහුගේ ඇස්වලට සමීප කර ගත්තේය. එය වියළී යාමට පටන් ගෙන තිබුණි. ඉතිරිය එකවර වත් කළ හැකි යැයි මම සිතුවෙමි. එහි වාඩි වී, මම මගේ ඇඟිල්ලෙන් පසෙහි යතුරුපැදියක් ලුහුබැඳීමට පටන් ගතිමි. එහි එක් රෝදයකින්, මගේ ඇඟිල්ල ස්වභාවිකවම ඇස් දෙකක්, නාසයක් සහ මුඛයක් ඇද ගත්තේය.

එවිට ඔහු මුලින්ම සඳහන් කළ දරුවා පිළිබඳ මතකය නැවත පැමිණියේය.

“ඒ දරුවාට මොකද වුණේ?” මම ඇසුවෙමි.

“ඒක මැරුණා,” ඔහු පැවසීය.

මම නැවතත් නිහඬ වුණා. නැඟිට යන්න හිතුවා. මහලු මිනිසා වන නඩේසුගේ මුහුණේ ඉරියව්ව මට කියවිය නොහැකි විය. සමහර විට එය යමෙකු ශීත කළ ආහාර හපන බවක් පෙනෙන්නට තිබුණි. ඊළඟ මොහොතේ දත් අතරේ සියඹලා උරා බොනවා වගේ. ඔහුගේ ඇස් වැට දිගේ බඩගා යන උරගයෙකු පසුපස හඹා ගියා. එය ඉරිතැලීම් පිටුපස අතුරුදහන් වූ පසුවත්, ඔහුගේ ඇස් ඒ අවසාන ස්ථානයේම රැඳී තිබුණි.

ඔහු දිගු හුස්මක් හෙළුවේය.

“අසරණයි… ඒ ඔවුන්ගේ විවාහයෙන් වසර හයකට පසු ඉපදුණු දරුවෙක්. ඒ වගේම, මාස හයකින් ගියා.”

“මොකද වුණේ?” මම ඇසුවෙමි. මෙවර, මට ස්ථිරයි – ඔහු නැවත වරක් එය මිය ගිය බව පැවසුවහොත්, මම නැඟිට යන්නෙමි.

“ඒ කවුරුවත් නෙවෙයි. මගේ සහෝදරියගේ දරුවා. අපේ ආච්චිගේ (දෙමළ භාෂාවෙන් ආච්චි ලෙස හඳුන්වන) වටකුරු මුහුණම කිසිසේත්ම නැත – අපේ ආච්චි මගේ සහෝදරියගේ කුසේ නැවත ඉපදුණා. ඇය මට වඩා අවුරුදු පහළොවක් බාලයි. ඇය කවදාවත් මට සහෝදරයා (දෙමළ භාෂාවෙන් ආනා) ලෙස කතා කළේ නැහැ – මට පියෙකු මෙන් සැලකුවා. අවුරුදු හයක් පන්සල් සහ පොකුණුවල සැරිසැරීමෙන් පසු, ඇය ඒ දරුවා බිහි කළාය. ඇගේ සැමියා විදේශගත වී සිටියා, ඇය සම්පූර්ණයෙන්ම තනිව සිටියා. ඒ නිසා, මම ඇය සමඟ නැවතුණා.

ඒ දවසෙ පාන්දර එකට විතර. බබාගෙ කටින් පෙණ ගලනවා. මුලදී එයා හිතුවෙ කිරි කියලා. නමුත් මිනිත්තු කිහිපයක් ඇතුළත උගේ කකුල් තදින් ඇදෙන්න පටන් ගත්තා – ඌ ගැහෙන්න පටන් ගත්තා. වටේ හිටගෙන බලන්නෙ නැතුව, මම කෙලින්ම දුවගෙන ගියේ මනියම්ගෙ ගෙදරට – කාර් එක තියෙන මිනිහා ළඟට. ගමේම එකක් තිබුණ එකම කෙනා එයා. මනියම් කිව්වා, ‘මම එන්නම්’ කියලා. නමුත්…”

නඩේසු නතර වෙලා තවත් කෝප්පයක් වත් කළා. මේ පාර, ඔහු වැඩිය වතුර දැම්මේ නැහැ.

“ඔයා දන්නවද… ඒ කාලේ, රෝහලට යන්න, අපිට හමුදා මුරපොලවල් තුනක් හරහා යන්න සිද්ධ වුණා. ඒ හැම එකකම, තල් කඳක් තරම් උස පස් බැම්මක් තිබුණා. “පොළොව සුනාමියක් වගේ නැඟී ඔබේ මාර්ගය අවහිර කළොත් කියලා හිතන්න – ස්වාමීනි, ඒක එහෙමයි…”

වැටේ කෙළවරේ, තල් ගස් දෙකක් සිටගෙන සිටියේය – ඒවායේ කඳන් පාදමෙහි එකතු/ වී ඉංග්‍රීසි අකුර ‘V’ හැඩයෙන් ඉහළට නැඟී ගියේය. මම බලා මගේ ඇස්වලින් උස මැනිය. සමහර විට ටිකක්/ අතිශයෝක්තියට නැංවීය…

“‘ප්‍රධාන හමුදා කඳවුරට ගිහින් මුලින්ම අවසර ගන්න. ඊට පස්සේ මම එන්නම්,’ මනියම් කිව්වා. මම කිව්වා, හොඳයි – කාර් එක ගන්න. අවසර පත්‍රය අරන්, ඊට පස්සේ අපි දරුවාව අරගෙන යමු. නමුත් මනියම් මා දෙස බලා අත් බැඳගත්තා. ‘ලොකු අයියේ, මාව වරදවා වටහා ගන්න එපා. මට ළමයි තුන්දෙනෙක් ඉන්නවා. මට දෙයක් උනොත්, එයාලා තනි වෙනවා. ඇඳිරි නීතිය වෙලාවේ, කවුරුහරි යන්න උත්සහ කලොත් ඕනෑම කෙනෙක්ට දැක්ක තැන වෙඩි තියනවා. මට ඒ අවදානම ගන්න බැහැ,’ එසේ පවසා ඔහු ආපසු ගියේය.

එදින රාත්‍රියේ මෙන් කිසිදා මගේ හදවත බරට දැනී නැත. මගේ සහෝදරියට සියල්ලටම සිටියේ මා පමණි. ඇය මා කෙරෙහි විශ්වාසයෙන් සියල්ල මා අත තබා තිබුණි. “වෙන්න තියෙන දෙයක් නම් ඒක වෙයි”, මම සිතුවෙමි. ඇවිදන් යන එක වඩා හොඳයි. සොල්දාදුවෙක් මාව දැක්කොත්, මට මගේ අත් ඔසවන්න පුළුවන්. එහෙම උනොත් ඒක ලේසි වෙයි…

“ඒත් මං දිවුවා. අවුරුදු පනහෙදි  එහෙම දුවන එක ලේසි වැඩක් නෙමෙයි — මම වෙහෙසට පත් වුණා. කෙටි දුරක් ගිය පසු, මොළයට අකුණු සැරයක්  වැදුණක් මෙන් කිසිවක් මට මතක්විය . “මම හැඳුනුම්පත් ගෙනාවේ නැහැ”. මම ආපසු හැරී නැවත ගෙදර දිව්වෙමි. ඒ වන විට, දරුවාගේ අපස්මාර තත්වය අඩු වී තිබුණි. නමුත් ඔහු  හදිසියේම කකුල් ඇඹරීමට පටන් ගත්තේය. ඒ මොහොතේ දරුවා වටා  ශෝක චාරිත්‍රයක් ආරම්භ වූවාක් මෙන් විය.

 කිසිවක් ගැන නොසිතීමට තීරණය කළ මම දරුවා දෙස බැලුවෙමි.ඔහු නිශ්චලව වැතිර සිටියේය. හදිසියේම, ඔහු  හුස්ම හිරවී කකුල් පිටතට විසි කළේය. ඔහුගේ  පපුවේ ඇති සෙම කැටිත්තක් සිර වන්නට ඇත – ඔහු  හුස්ම ගැනීමට අපහසු වන විට නිකුත් වන කෙඳිරිල්ලක් වැනි ශබ්දයක් නැගුවේය. එවැන්නක්  කුඩා දරුවෙකු වෙතින් දැකීම මට දරාගත නොහැකි විය.

මගේ සහෝදරිය මගේ දෙපා මුල වැටුණි. “අයියා ‍ ඔබ මට මගේම තාත්තා වගේ. මම ඔබෙන් අයදිනවා. කරුණාකර දරුවා රෝහලට ගෙන යන්න,” ඇය කෑගැසුවාය.

මගේ ඇස්වලට කඳුළු පිරුණි. ඒ තරම් හදිසි දෙයක් වෙලත්, මට මගේම ගමේ වීදියේ ඇවිදින්න අවසර ඉල්ලන්න සිද්ධ වුණා. මම ඇයට මනියම් එක්ක යන්නම් කියා, හැඳුනුම්පත් රැගෙන ඒමට දිව ගියෙමි.

කාගෙවත් ජීවිතේ වැදගත් වුණේ නැහැ – හැඳුනුම්පත් විතරයි වැදගත් වුණේ.

වෙලාව පාන්දර දෙකට විතර වෙන්න ඇති. දෙසැම්බර් මාසයේ සීතල මගේ දත්වලට අයිස් වගේ වැදුණා. දුවන ශබ්දයට බල්ලෝ බුරන්න පටන් ගත්තා. මම බය වුණා. මම නිතරම මුමුණමින් කිව්වා, “වයිරාවර්, ඔයාගේ අශ්වයාගේ කට බැඳලා මට ආශීර්වාද කරන්න.”

ගමේ ගෙවල් ඔක්කොම අඳුරුයි. හමුදා කඳවුර විතරයි හතර පැත්තෙන්ම එළිය වුණේ, විදුලි පහන් එළිය හරියට ක්‍රීඩා පිටියක් වගේ. මුරපොලේදී, සොල්දාදුවෙක් මාව නැවැත්තුවා. ඔහු තුවක්කුව මගේ පපුවට කෙළින්ම එල්ල කරලා මම කොහෙද යන්නේ කියලා ඇහුවා. මම කිව්වා මට ඉහළ නිලධාරියාව හමුවෙන්න ඕන කියලා.

“ඒක කරන්න බෑ. උදේ පාන්දරින් එන්න,” ඔහු කිව්වා.

ඔහුට වයස දහඅටකට වඩා වැඩි වෙන්නැති. මම ඔහුට අත් දෙක එකතු කළා. “අනේ සර්, අනුකම්පා කරන්න. පොඩි බබෙක්ට ෆිට් එකක් හැදිලා කටින් පෙණ දමමින් ඉන්නවා. මට රෝහලට යන්න ඕනි. මම ආවේ අවසර ගන්න” මම කිව්වා. ඔහු කොමිස් හරහා ඇතුළට කතා කළා. ඊට පස්සේ ඔහු මට ඇතුළට යන්න කිව්වා. මම ආයෙත් අත් දෙක එකතු කරගෙන ඔහුට වැඳලා දිව්වා.

ඇතුළත, කිසිම ශබ්දයක්, කලබලයක් තිබුණේ නැහැ. මගේම හුස්ම මට ඇහුණේ වන සතෙකුගේ ගොරවන හඬක් වගේ. මම ඒ යෝධ කඳවුරේ තනියම හිටියා. යාපනයේ මිනිස්සු ඒ තැනට කිව්වේ ලොකුම මස් කඩේ කියලා. දරුණුතම වධහිංසා එතන සිද්ධ වුණා කියලා කියනවා.

මඳ වෙලාවකින් ඉහළ නිලධාරියා පැමිණියේය. ඔහු මත්පැන් බී ඇති බැව් නහයට ඉතා හොඳින්ම දැනුණි. ඔහුගේ දෑස් රතු ව තිබූ අතර, ගිනියම් වී තිබුණි. මම හැඬීමටත්  පෙර  සියල්ල පිළිගත්තෙමි.

දරුවගෙ වයස කීයද හෙතෙමේ ඇසුවේය.

“මාස හයක් සර්,” මම බැගෑපත් වුණෙමි.

කිසිවක් නොවූ පරිදි ඔහු මෙසේ පැවසුවේය, “එළි වෙන්න තව පැය හතරක් විතරයි තියෙන්නෙ. ඊට පස්සේ එයාව එක්ක යන්.”

මම ඔහුගේ දෙපා මුල ළඟ වැටී හැඬීමට පටන් ගත්තෙමි.

ඔහු පාදය ඉවතට ගත්තද මම අත් නොහැරීමි.

ඔහු  මට නැගිටින ලෙස අණ කළේය.

ඔහු මගෙන් හැඳුනුම්පත් දෙකම ගෙන කඩදාසි කැබැල්ලක සිංහලෙන් යමක් ලියලා අත්සන් කළේය. “හැඳුනුම්පත් කඳවුරේ තියාගන්නවා, උදේට ඒවා ගන්න එන්න පුළුවන්” ඔහු කීවේය.

මම පැකිලුණෙමි. හැඳුනුම්පත් නැතුව මම ඒ හැම චෙක්පොයින්ට් එකක්ම පහුකරන්නේ කොහොමද?

කමක් නෑ. මට ලියුම ලැබුණා. ඒක ඇති.

“ස්තූතියි සර්, දහස් වතාවක්,” කී මම, ආපහු හැරුණෙමි.

ඉහළ නිලධාරියා මගේ දකුණු උරහිස අල්ලගෙන මාව නැවැත්තුවා.

“දැන් වෙලාව තුනට කාලක් විතර. දැන් ඉදන් උදේ හයත් අතර කාලයේ මේ ප්‍රදේශයට කොටියෙක් ග්‍රෙනේඩ් එකක් දැම්මොත් නැත්නම් වෙඩි තිබ්බොත් – ඔයායි ඔයාගේ පවුලේ අයයි එකතු වෙලා මරාගන්න. අපිට වෙලාව ඉතුරු කරගන්න.”

මගේ දෙපා වෙව්ලීමට පටන් ගති.

මම මනියම්ගේ ගෙදරට වහා දිවගියෙමි. අපි මනියම්ගේ කාර් එකෙන් ගෙදර ගියෙමු. දරුවා තවමත් හුස්ම ගැනීමට අපහසුවෙන් සිටියේය. අපි අම්මාත් දරුවාත් කාර් එකට දැම්මෙමු. විනාඩි හතළිස් පහකින් රෝහලට යා හැකි බව මනියම් කීවේය. දහවන මිනිත්තුවේදී, පළමු මුරපොල අපේ මාර්ගය අවහිර කරන ලදි.

මාර්ගය හරහා, දුම්රිය හරස් මාර්ගයක් මෙන්, ඔවුන් බූම් බාධකයක් පහත් කලෝය. තව දුරටත් ඈතින් සිටි සොල්දාදුවෙක් ඔහුගේ ටෝච් එළිය දල්වා එයින් සංඥා කළේ – “බහින්න” කියන්නාක් වැනිය. මනියම් සහ මම බැස්සෙමු. මම හමුදා නිලධාරියා දුන් අවසර පත්‍රිකාව ඔහුට පෙන්නුවෙමි. ඔහු හැඳුනුම්පත් ඉල්ලුවේය.

 දෙවියනේ, මගේ උගුර වියළී ගියා. මට කතා කරන්න බැරි වුණා. ඉහළ නිලධාරියා  ඒවා ළඟ තියාගත්තා කියලා මම කිව්වා.

 “හැඳුනුම්පත් නොමැතිව, ඔබට ඉදිරියට යන්න බැහැ. ආපසු යන්න,” ඔහු කිසිසේත් පසුබට නොවී පැවසීය.

මගේ  දෑස් කඳුලින් පිරුණි.

 ඔහුට විස්සකට වඩා වැඩි වෙන්න බෑ. මමත් ඔහුට අත් දෙක එකතු කළා.

“සර්, කරුණාකරලා කාර් එක ඇතුල බලන්න එන්න. අසරණ දරුවා එතන වැතිරිලා හුස්ම හිර වෙලා  ඉන්නවා. අම්මා අඬලාම වේලිලා ගිහින්. අපි එයාව රෝහලට ගෙනිච්චොත් විතරයි මොනවාහරි දෙයක් කරන්න පුළුවන්,” මම නැවත නැවතත්  කන්නලව් කළෙමි.

ඔහු කාර් එක ළඟට ඇවිත් ඇතුළට එළිය කර බැලුවේය. ඇය සිටියේ කඩිමුඩියේ පැමිණි බැවින්, තවමත් ඇගේ රාත්‍රී ඇඳුම් ඇඳගෙනය. ඇය ලැජ්ජාවෙන් හා බියෙන්  හැකිලී සිටියාය. ඔහු දොර විවෘත කර ඇගේ හැඳුනුම්පතත් පරීක්ෂා කලේය. ඉන්පසු ඔහු බූම් බාධකය එසෙව්වේය.

අපි තුන්වන මුරපොලත් තරණය කළෙමු. පිටුපස අසුනේ සිට, මගේ සහෝදරිය කෑගසන්නට විය, “බබාගේ කිසිම චලනයක් නැහැ.” ඔහුගේ ඇස් තවමත් විවෘතව තිබුණි. මම ඔහු මගේ දෑතින් ඔසවා මගේ උරහිසට හේත්තු කළ විට,  හිස පහළට ඇද වැටුණි. මම ලොව සියලුම දෙවියන්ට කන්නලව් කලෙමි. “කිසිවක් ගැන හිතන්න එපා. එය නින්දට වැටිලා ඇති. රෝහල ළඟයි. තව විනාඩි දහයක්..ඉන්න.” මම කීවෙමි.

මනියම් රෝහල ඉදිරිපිට නතර කලේය. මම දෙවියන්ට ස්තූති කර, දරුවා වඩාගෙන, හදිසි ප්‍රතිකාර ඒකකයට දිව්වෙමි. වෛද්‍යවරයා බබාගේ පපුව මත අත තබා බලා බබාගේ ස්පන්දනය පරීක්ෂා කලේය. මා හට  කිසිවක් නොකියා, බබාගේ ඇස් මෘදු ලෙස වසා දැමුවේය. ඔහු මගේ උරහිස් මෘදු ලෙස අල්ලාගෙන, “දරුවා මැරිලා ගොඩක් වෙලා වෙනවා” කීවේය.

මගේ ඇස් ඉදිරිපිට පොළොව දෙබෑ වන්නා සේ මට දැනුණි. ෆිට්ස් පටන් ගත්තේ කීයටද කියා ඔහු ඇසුවේය.

 මම කිව්වා රෑ එකට විතර කියලා. ඔහු ඔරලෝසුව දෙස බලා නිහඬ විය.

ඒ හිමිදිරි පාන්දර, මගේ නංගිගේ විලාපයෙන් රෝහල් බිත්ති දෙදරුම් කෑවහ. “ඔයා මේ ශාප ලත් පොළොවේ ඉපදුනේ ඇයි?” ඇය හැඬුවාය. “මම ඔයාව රෝහලකටවත් ගෙනියන්න බැරි පව්කාරයෙක් වෙලා. ඔයා මට සමාව දෙනවද? ඔයා මට සමාව දෙනවද?” ඇය පපුවට ගසාගනිමින් හැඬුවාය. තවදුරටත් හඬන්න බැරිවූ පසු ඇය සිහිසුන්ව වැටුණාය.

අපි බබාගේ දේහය ආපසු කාර් එකටම ගෙනාවෙමු. ආපසු යන අතරමගදී මම ප්‍රධාන කඳවුරට ගොස් හැඳුනුම්පත් ගත්තෙමි. හමුදා නිලධාරියා හදිසියේම යමක් මතකයට ආවාක් මෙන් “බබාට කොහොමද?” කියා ඇසුවේය.

 “ඔහු මිය ගියා” කී මම ආපසු ආවෙමි.

කුඩා මළ සිරුර මේ වනවිටත්  ඉක්මනින්ම සීතල වී තිබුණි. එය වැඩි වෙලාවක් තබාගත නොහැකිව තිබුණි . අපි ඒ දවසේම අවමංගල්‍ය කටයුතු සූදානම් කලෙමු. ඇඳිරි නීතිය පටන් ගැනීමට මත්තෙන් භූමදාන කලෙමු.

ඊළඟ දවසේ, මම මලක් තියන්න භූමදාන ස්ථානයට ගියා.

මහලු නඩේසු අහස දෙස බලා ඉතිරි කොටස කියන්නට විය.

“එතකොට තමයි මම දැක්කේ සොහොන අවුස්සලා තියෙනවා.”

“මුලින් මම හිතුවේ බල්ලෙක් හරි හිවලෙක් හරි ඒක හාරන්න ඇති කියලා. මට මගේ හිත හදාගන්න බැරි වුණා. නමුත් කිසිම බල්ලෙකුට හෝ හිවලෙකුට ඒ තරම් ගැඹුරට හාරා ගන්න බැහැ. එතන මොකද වුණේ – දෙවියන් වහන්සේ විතරයි දන්නේ. සියල්ල දුටුවේ උන්වහන්සේ පමණයි…”

නඩේසු ඉවර වෙනකොට හොඳටම බේබද්දෙක් වෙලා හිටියා. එයාගේ වචන එකට ගලාගෙන ගියා, හුස්ම හිරවෙලා. එයා බෝතලය ඇල කරලා අන්තිම බිංදුවත් එයාගේ දිවට දැම්මා.

මට හිතාගන්න පුළුවන් වුණේ ඒ බබාගේ මූණ විතරයි – මම කවදාවත් දැකලා නැති ළමයෙක්.

මම මීට කලින් මේ වගේ කතා අහලා තිබුණා. අඳුරු මැජික් – කළු මන්තර ගුරුකම්, ආත්ම චාරිත්‍ර – කරන අය කියනවා ඒ වගේ අය දරුවන්ගේ සිරුරු හොයනවා කියලා. ඒ නිසා, මගේ ආච්චි වරක් කිව්වා, කුඩා දරුවන් භූමදාන කළ ස්ථාන, විශේෂයෙන් ආදාහන භූමියේ රාත්‍රියේ සෝදිසියෙන් ඉන්නවා කියලා.

නමුත් ඒ අවුරුදු පනහකට පෙර.

ඒ කාලේ, ඇය කිව්වා භූතයන් නිදහසේ සැරිසරනවා කියලා. ඇයට කැළලක් තිබුණා – ඇය ඒක පෙන්නලා කියනවා, “අවතාරයක් මගේ උගුර කපන්න හැදුවා” කියලා. ඒක හකු යට දිග කැළලක්. ඒක තාමත් තියෙනවා. “ඒක එක්තරා ආකාරයක හිස්ටීරියාවක් – සමහරවිට ඔයා ඔයාවම කපාගන්නවා” කියලා ඔයා එයාට කිව්වොත්, ඇයට තේරෙන්නේ නැහැ.

නාඩේසු මහලු මිනිසාගෙන් ශබ්දයක් ආවා – බළලෙකු මෙව්වා වගේ. ඒක පිස්සු වැටිලා ඉන්න අයගෙන් එන කෑගැසීමක්. නමුත් බේබදුකමේදී තමයි සියලුම වෙස් මුහුණු සහ වාර්නිෂ් අතුරුදහන් වෙන්නේ, සත්‍යය එළියට එන්නේ.

“දෙවියන් වහන්සේ සියල්ල දුටුවා,” ඔහු නැවතත් කීවේය.

ඉන්පසු මෘදු ලෙස:

“ඔහු මාවත් දුටුවා.”

අකුණු සැරයක් මෙන්, මම හැරී ඔහු දෙස තියුණු ලෙස බැලුවෙමි. ඔහු මුහුණ පහත් කර තිබුණි. ඔහුගේ දෑස් තුළ, ගැටයක් ගැලවී ගියාක් මෙන් පෙනුනි.

හදිසියේම, නඩේසු මගේ දෑත් තදින් අල්ලා ගත්තේය.

“මට හැට විය. මම කලින් වගේ නෙවෙයි. මට එහෙමම මැරෙන්න පුළුවන්. මම මැරෙන දවසට, මට කිසිම බරක් නැතුව යන්න ඕන. මම විවාහ වෙලා දරුවෙක් හිටියා නම්, ඒ දරුවා දැන් ඔයාගේ වයසේ. ඔයා මට පුතෙක් වගේ.

ඉතින් අහන්න. අවුරුදු දහයකට කලින් මම ඒ හාරා දැමූ සොහොන තුළ වළ දැමූ සත්‍යයට සවන් දෙන්න…”

මම දැනටමත් අනුමාන කිරීමට පටන් ගෙන තිබුණි. නමුත් මම කුමක් කියන්නදැයි දැන සිටියේ නැත. ඔහුගේ කටහඬේ ස්වරය, එය පිට වූ ආකාරය, මා තුළ අමුතු අනුකම්පාවක් ඇති කළේය. මම නිහඬව සිටියෙමි, මගේ දෑත් ඔහුගේ ග්‍රහණයෙන් නිදහස් නොකර. නමුත් තවමත් – කවුරුහරි දරුවෙකු එහි සොහොනෙන් හාරා ගන්නේ ඇයි…

මහලු මිනිසා නඩේසුගේ වචන විසිරී තිබුණි.

“ඒ රෑ… එකොළහට විතර වෙන්න ඇති. හැමෝම නිදාගෙන හිටියා. එළියේ, එච්චර තෙතමනයක් තිබුණේ නැහැ. නමුත් මම දහඩිය දාමින් හිටියා. මම පන්දම් එළිය විතරක් අරගෙන එළියට ගියා. හඳත් මාත් එක්ක ආවා. සොහොන් බිමට යන්න පයින් පැය භාගයක් යනවා. මම වේගයෙන් ඇවිදින්න පටන් ගත්තා. රෑ මැද සොහොන් බිමකට යන්න මම කවදාවත් හිතුවේ නැහැ. භූතයන් – මට හැසිරවිය හැකියි. ඒ මම බිය වූ සොල්දාදුවන්. මම වාතය හරහා පියාසර කර එහි ගොඩ බැස්සා වගේ මට දැනුණා. මට හුස්ම ගන්නවත් බැරි වුණා. මහන්සියක් දැනුනේ නැහැ.

මම ඝන කෝටුවක් අරගෙන හෑරීමට පටන් ගත්තා. සීරීමට, සීරීමට. නමුත් තියුණු කෝටුව බබාට ඇනෙන්න පුළුවන් කියලා මට හිතුනම, මගේ ඇස්වලට යමක් ඇන්නා වගේ දැනුනා. මම කෝටුව ඈතට විසි කළා. ඊට පස්සේ, දණ ගහගෙන, මම මගේ අත්වලින් හූරන්න පටන් ගත්තා. වෙරළ වැලි වගේ පස් ගලාගෙන ගිහින් වැගිරුණා. මගේ ඇඟිලි දරුවාගේ සීතල මුහුණ ස්පර්ශ කළා. මගේ පපුවේ යමක් සිදු වුණා. මම මගේ අත් පසුපසට ඇද ගත්තා. මම පන්දම මගේ මුඛයේ අල්ලාගෙන හිටියා. ආලෝකය මුහුණ පෙන්නුවා. එය අඳුරු වී තිබුණා.

‘මරණයෙන් පස්සෙත් මම ඌට සාමයෙන් නිදාගන්න දෙන්නේ නැහැ. මම පව්කාරයෙක්’ කියලා මට හිතුනා. කඳුළු ගලාගෙන යන්න පටන් ගත්තා. මට වැඩි වෙලාවක් ඉන්න බැරි වුණා. මම දරුවාගේ බෙල්ල ළඟ පොළොව පිරිසිදු කළා. ඒක තිබුණේ එතන. මගේ මුදල් පසුම්බිය.

පසුව, අපි දරුවා භූමදාන කරනකොට, නෑදෑයෝ හැමෝම එකතු වෙලා පස් දැම්මා. භූමදානයට යන්න කලින් මම ගොඩක් බිව්වා. මට බොන්නේ නැතුව ඒ වගේ දුකෙන් ගොඩ එන්න බැරි වුණා. මුදල් පසුම්බිය මගේ කමිසයේ ඇතුළේ සාක්කුවේ තිබුණා. මම පස් දාන්න නැමිලා ඉන්නකොට වැටෙන්න ඇති. මට ඒක තේරුණේ නැහැ. නමුත් මම ගෙදර ඇවිත් නාන්න ගියාම මට තේරුණා. මම කාටවත් කිව්වේ නැහැ. හැමෝම නිදාගත්තට පස්සේ මම ආපහු යන්න තීරණය කළා.

වෙව්ලන ඇඟිලිවලින් මම මුදල් පසුම්බිය අතට ගත්තා. දූවිලි පිඹලා, තට්ටු කරලා, ළඟින් තියාගත්තා. කනත්ත පාරේ, ඈතින් ට්‍රක් රථයක එළිය මම දැක්කා. මම පන්දම නිවා දමා සොහොනේ වැතිර, කුඩා මළ සිරුරෙන් මාව වසා ගත්තා. ඒක මගේ පපුව මත තිබුණා. හමුදා ට්‍රක් රථය ඒ අසලින් ගියා. ඊට පස්සේ මම හිටගෙන, ඉක්මනින් මගේ පාදවලින් පොළොව හෑල්ලුවෙන් හලා, ගෙදර දිව්වා. මම සොහොන නිසි ලෙස වසා ගත්තේ නැහැ. මුළු රාත්‍රිය පුරාම මට නිදාගන්න බැරි වුණා. මම හිතුවා – හිවලෙක් හෝ අයාලේ යන සතෙකු එය හාරා ගනීවි කියලා. මුලින්ම අලුයම මම ලැජ්ජාවෙන් මලක් අරගෙන එතනට දිව්වා.

ස්වාමීනි, කිසිවක් සිදුවී තිබුණේ නැහැ. මම පස තදින් ඇසිරුවා. දණින් වැටී දරුවාට ඇත්තටම සමාව අයැද සිටියා.

“ආචි… මාව බිහි කළ මගේ ආචි… මට සමාවෙන්න. මේ පව්කාරයාට සමාවෙන්න.”

එකපාරටම, නඩේසු හිස් බෝතලය ගලක හැප්පුනා. ඒක කෑලි කෑලිවලට කැඩිලා ගියා.

“මම පව්කාරයෙක්, මම පව්කාරයෙක්,” ඔහු නැවත නැවතත් මුමුණමින් කිව්වා.

මම මගේ මුහුණේ හැඟීම් අංශු මාත්‍රයක්වත් පෙන්නුවේ නැහැ. මම ඔහු ගැන මට දැනුන අනුකම්පාව පිස දැම්මා. දැන් තිබුණේ පිළිකුලක් විතරයි – ඔහු මේ සියල්ල කළේ සල්ලිවලට කියලා.

“ඒ පසුම්බියේ සල්ලි කීයක් තිබුණාද ? පන්සියයක්ද ? දහසක්ද ?” මම සමච්චල් කරමින් ඇසුවෙමි.

“සත පහක්වත් නෑ පුතේ. නමුත් ඒ ඇතුලේ මගේ හැඳුනුම්පත් දෙක තිබුණා. එකක් රජයෙන්. අනෙක… හමුදාවෙන් දුන්නා.”

ඔහුගේ වචන සම්පූර්ණයෙන්ම පානය තුළ දියවී යාමට ටික වේලාවකට පෙර, මහලු නඩේසු අවසන් දෙයක් කීවේය:

“මුහුදු හතක් හරහා, ගුහාවක ගැඹුරු ගිරවෙක් තුළ සැඟවී සිටි මායාකාරයෙකුගේ කතාව වගේ… මගේ ආත්මය මගේ ශරීරයේ තිබුණේ නැහැ. ඒ හැඳුනුම්පත් දෙකේ තිබුණා.”


Discover more from සාක්ෂිය

Subscribe to get the latest posts sent to your email.

Follow Us

Archives

Go toTop