සයන්තන්ගේ ආදිරෛ නවකතාව 1970 දශකයේ අග භාගයේ ශ්‍රී ලංකාවේ කඳුකරයේ සිදුවූ දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වයෙන් ආරම්භ වී 2013 වර්ෂය දක්වා දිවෙන දිඟු ඉතිහාසයක කාලපරාසයක් පාදක කරගත් දැවැන්ත හා ප්‍රබල නවකතාවකි.
මෙය එම නවකතාවේ කොටසක සිංහල පරිවර්තනයකි .

03.05.2009
මුල්ලිවයික්කාල් වීදි අද්දර අසරණව වැටී තිබූ බිළිඳු මළ සිරුර දුටු ගණපති හිස බදාගෙන බිම හිඳගත්තේය. සුනාමි රළ පහරට හසුවූ දිනක ගෝනියක් තුළ පෙකණිවැලට ගුලිවී සිටි බිළිඳකුගේ මතකය වේගයෙන් ඔහුගේ සිතට නැඟිණි. දෑස් අඳුරු විය. මේ දරුවාට වයස මාස දෙක තුනක් පමණ වන්නට ඇත. කාගේ හෝ තුරුලකින් ගිලිහී වැටුණාක් මෙන් නිරුවත් සිරුරින් යුතුව මුණින් අතට වැටී සිටියේය. ගෙල පිටුපස ලේ විලකි. අපස්මාරය සෑදුණු අයකු මෙන් ගණපති වෙවුලන්නට විය. ඔක්කාරයට මෙන් ආවේය. පපුව අල්ලා ගත්තේය. ‘මේ දරුවා ඉපදුණු දවසේ හිතන්න ඇත්තේ… මේ පොළොව ඇයි මේ තරම් වෙඩි බෙහෙත් ගඳ ගහමින් දෙදරුම් කන්නේ කියා ය.’ හිස හරවා ඒ අසල විසිරී තිබූ මළ සිරුරු අතර ඔහු කාවදෝ සෙව්වේය. ඒ මොහොතේත් ඇතැම් සිරුරු සෙමෙන් නිසල වෙමින් පැවතිණි. ඇතැමෙක් ඒ වනවිටත් කෙඳිරිගෑහ. පය තබන තැනක් පාසා ලේ වැකුණු මඩ… ඔහු උම්මත්තකයකු මෙන් පස් අවුස්සමින් කෑගැසුවේය. කම්මුල්වලට මාරුවෙන් මාරුවට ගසා ගත්තේය. වල්ලියාල් දිවවිත් ඔහුගේ දෑතින් අල්ලා අදින විට ඔහු දැඟලුවේය.
‘මාව අතාරින්න… මේවා දැකලා දැකලාම ඇස් අන්ධ වෙලා ගියා… මීට පස්සේ ඉවසන්න බෑ. ජීවත් වෙන්න ඕනෙ ජීවිත ඔක්කොම පිච්චිලා වැටෙනවා. ඔයා යන්න… ඔයා යන්න… මම මේ මහ පොළොවෙම මෙහෙමම ඉන්නම්… දෙවියනේ… මුනියාන්ඩි දෙවියනේ… මාවත් එකතු කරගන්න…’ යැයි ඔහු විලාප දුන්නේය.
‘අයියෝ… එන්න… ළමයි බලාගෙන ඉන්නවා…’
මදක් දුරින් දරුවන් පපුවට තුරුළු කරගෙන මුත්තු ද වෙල්ලෙයන් ද ට්‍රැක්ටර් පෙට්ටියක් යට සැඟවී සිටියහ. ඉසෙයිනිලා හිස ඔසවනු ඇතැයි බියෙන් මුත්තු ඇයව තදකරගෙන සිටියාය. පෙරදී නම් අසල මරණයක් සිදුවූ විට විසිරුණු සිරුරු කොටස් නොපෙනෙන ලෙස ඇය දරුවන්ගේ දෑස් වසයි. දැන් කොයිතරම්නම් සිරුරු ඉදිරියේ කොපමණනම් වතාවක් දෑස් වසන්නද…
වලෙයිඤර්මඩම් ප්‍රදේශයෙන් පිටත් වූ පසු රාණිට සහ සින්ධුට මඟ වැරදිණි. මග සොයා ඇවිදින්නට අවකාශයක් නොතිබිණි. කොටි පාලනයේ අවසන් මිනිත්තු කිහිපය.. අධිරාජ්‍යයක් එකවරම විනාශ වන්නාක් මෙන් ඇස් ඉදිරිපිට බිඳ වැටෙමින් පැවතිණි. සටන්කාමීහු ආපසු හැරෙමින් සිටියහ. ඇතැමුන් තමන්වම පුපුරුවා ගත්හ. අනවසරයෙන් රැගෙන ගිය අය සෙනඟ අතරේ අතරමං වූ දරුවන් මෙන් තම මවුපියන් සොයමින් ඔබ මොබ ඇවිද්දහ.
ගණපති මඟ දිගටම “දෙවියනේ… මගේ දරුවාව මට දෙන්න…” යැයි විනෝදිනීගේ නම කියමින් කෑගැසුවේය. වාහන අසලින් ද ට්‍රැක්ටර් පෙට්ටි යටින් ද සැඟවී සැඟවී පමණක් ගමන් කළ හැකි විය. බිහිසුණු ෂෙල් ප්‍රහාර එල්ල වෙමින් පැවතිණි. අතහැර දමා තිබූ බංකරයක් තුළට ඔවුන් පැනගත්තේ මඳ වේලාවකට පෙරය. පෙනෙන මානයේ ගසක් යට කාන්තා සටන්කාමීන් කිහිප දෙනකු සහ සිවිල් වැසියන් පිරිසක් එක්රැස් වී සිටිනු ගණපති දුටුවේය. එක පිම්මෙන් පිටතට පැන්න ඔහු ඔවුන් දෙසට දුවන්නට විය. තත්පර දෙකක් පමණි… සුළඟ ද ඉරාගෙන පුපුරා ගියේය. ගස යට කළු දුම් වලාවකි. ගණපති බිම වැටී පෙරළිණි. ගල් ඇනී සීරී ගියේය. “දරුවා… දරුවා…” යැයි කියවමින් නැඟිට දිව ගිය ඔහු ඒ මොහොතේ තමයි ඒ බිළිඳාව දුටුවේ.
ගණපතිව වැළද වෙහෙසට පත්ව සිටි වල්ලියාල් අඩපණව ඒ අසලින්ම වාඩි වූවාය.
‘ඔයා ඇයි මෙතන ඉන්නේ… ඔයා යන්න… අන්න ළමයි බලාගෙන ඉන්නවා… ඔයා යන්න…’
‘ඔයා එන්නේ නැත්තම් මමත් යන්නේ නෑ. අත්තාරන්නන්ටයි චන්ද්‍රාම්මාටයි වුනා වාගෙ අපිත් මැරුණුදෙන් …’ ඇය කඳුළු පිසදා මුහුණේ පෙනුම දැඩි කර ගත්තාය.
වෙල්ලෙයන් ඔලිණිලාව මුත්තු ළඟින් තබා දිව ආවේය. ‘ඔබ එන්නේ නැත්නම් මුත්තුත් එන්නේ නෑලු. ඔහොමම හැමෝම ඉන්න… මම දරුවන්ට මිනීවළක් කපන්නම්…’ යැයි ඔහු කෑගැසුවේය. ගැස්සී හැරුණු ගණපති වෙව්ලමින් නැගී සිටියේය. ‘ඔයා එන්න… එන්න…’ යැයි කියමින් වල්ලියාල්ව ද ඇදගෙන දිව ගියේය.
මග පුරාම අනාත වූ දරුවන්… අසරණ වූ සෙනඟ… බිම පුරා මළ සිරුරු… කැබලි වූ ශරීර… ලේ… ෂෙල් ප්‍රහාර… හැඬුම්… කෑගැසීම්… විලාප…
…
පුළුල් නළලට ඉහළින් පීරා සකස් කළ කෙස්රොද… මරණයේ සලකුණක් නොපෙනුණු මුහුණේ මතුවූ දසන්… පපුවේ කොහේ හෝ ඉරී ගිය තුවාලයකින් කමිසයට උඩින් ඉරක් ඇඳී ගිය ලෙසින් වූ ලේ… කැලැල් වී ගිය මුහුණ රාණි එකවරම හඳුනා ගත්තාය. මණිවණ්ණන්! ඔහුගේ සිරුර වැලි කොට්ට අතරට කඩා වැටී තිබිණි. රාණි දෑතින්ම කට වසා ගත්තාය. සින්ධු දකීවි යැයි බියෙන් හිස නමා ගත්තද ඇඟ වෙවුලීම සඟවා ගත නොහැකි විය. සිත පුපුරා හැලී, කම්පනය වී, හිස් වී වියළී ගියේය. ‘මෙන්න… මෙතන විසිදාහක් තියෙනවා. තියාගන්න…’ අක්කර අටේ ළිඳ ළඟදී ඔහුගේ හඬ අවසන් වරට නින්නාද විය. ‘නිකම්ම විසිදාහකටද මේ හැමදේම…’ රාණි රවා බැලුවාය. ‘නෑ… එහෙම කවදාවත් හිතන්න එපා. ඔයා එහෙම හිතයි කියලයි මම කිසිදෙයක් දුන්නේ නැත්තේ… ඒත් දැන් එහෙම හිතුවත් කමක් නෑ. මේක ගන්න…’ ඇයගේ අත බලෙන් ඇද මුදල් ගුලි කර දී ඔහු හැරී ගියේය.
මණිවණ්ණන්ගේ තොල් මඳක් විවර වී තිබිණි… සිනාසෙන්නාක් මෙන්… රාණි තොල් සපාගෙන හැඬුම මැඩපවත්වා ගැනීමට උත්සාහ කළාය. එය පපුව තුළ උතුරා ගොස් දරාගත නොහැකි තැන පුපුරා ගියේය. පියවරක් හෝ ඉදිරියට තැබිය නොහැකිව දෙපා වාරු නැතිව ඇද වැටුණාය. යළි නැඟී සිටින්නට ගත් සෑම උත්සාහයක්ම අසාර්ථක විය. පිටුපසින් කවුදෝ සනසවන්නාක් මෙන් අතගාන විට ගැස්සී හැරුණු ඇය, තමා වැදූ දියණිය දෙස බැලීමට පවා ශක්තියක් නොමැතිව දෑත් පමණක් අල්ලාගෙන ඉකිබින්දාය. සින්ධු මවගේ කම්මුල් දෙකම දෑතින් අල්ලා ගත්තාය. ආයාචනා කරන්නාක් බඳු ඒ දෑස් දැකීම වේදනා ගෙන දෙන්නක් විය. බැල්ම පහතට හෙළා ගත්තාය.
‘අම්මා අඬලා හිත නිදහස් කරගන්න…’
රාණි මහ හඬින් හඬා වැටුණාය. මණිවණ්ණන්ගේ දෙපාමුල දූවිල්ලේ වැටී පෙරළෙමින් විලාප දුන්නාය. කඳුළු පිරුණු දෑසින් ඇය දෙස බලා සිටි සින්ධුට එකවරම කාගේ හෝ පුද්ගලික ලෝකයකට ඇතුළු වී සිටින්නාක් මෙන් හැඟිණි. ඇය හිස හරවා ගත්තාය.
…
ගණපති විනෝදිනීව සොයාගත්තේය. මඟ අතරමඟ කුමක් කළ යුතුදැයි නොදැන සිටි කාන්තා සටන්කාමීන් පස්හය දෙනකු අතරින් “අයියා…” යැයි කෑගසා ඇමතුවේ ඇයමය. ඒ හඬ ඇසුණු පමණින්ම වල්ලියාල් “මගේ දරුවා… මගේ දරුවා…” යැයි පාර හරහා එහාට මෙහාට දිව ගියාය. දින ගණනක් පරණ වූ ලේ තැවරුණු දිග කලිසමක් සහ ප්‍රමාණයට වඩා විශාල බුරුල් කමිසයක් ඇඳගෙන සිටි දියණිය දුටු විට පපුව හෝස් ගා දැවී ගියේය. “දෙවියනේ… මාව වැදූ දෙවියනේ…” කියමින් ඇයගේ නළලට සහ කම්මුල්වලට මාරුවෙන් මාරුවට හාදු දුන්නාය. ඇය සමඟ සිටි අනෙක් දරුවෝ ශෝකයෙන් බලා සිටියහ. ගණපති දෙපා දිගහැර බිම වාඩි විය. දෑත් ඔසවා “දෙවියනේ… මගේ දරුවා නෑ කියන එක දරාගන්න ශක්තිය දෙන්න කියලා මම ඔබෙන් අයැද සිටියා… ඔබ මට මගේ දරුවාවම දුන්නා…” යැයි ඔහු හයියෙන් කීවේය. “මුත්තු, ඔයා මල්ලිවත් ළමයිවත් එක්කගෙන ඉස්සරහට යන්න… මම නංගිවත් එක්කගෙන එන්නම්…” කියමින් ඔහු ඔවුන්ව පිටත් කර හැරියේය.
විනෝදිනී මුලින් පැකිළුණාය. ඇය සමඟ සිටි දරුවන්ම “ඔයා යන්න යාළිනී… අපිව දන්න කට්ටිය එයි… අපි එයාලා එක්ක එන්නම්… ඔයා ඉස්සෙල්ලා යන්න… එතනදි හම්බවෙමු…” යැයි කියමින් ඇයව දිරිමත් කළහ.
වල්ලියාල් කකුල් අල්ලාගෙන අයැද සිටියාය. “ඔයාව තනියම දාලා අපි යන්නේ නෑ… මෙහෙමම ඉන්නවා. ඔයාට මැරෙන්න හිතුණොත් ඒ වහ ටික අපිටත් දෙන්න… අපිත් මැරෙනවා.”
විනෝදිනී මවගේ දෑත් අල්ලා “අතාරින්න අම්මා… මම එන්නම්…” යැයි මුදා ගත්තාය. යෙහෙළියන් දෙසට හැරී “ඔයාලා කොහොමහරි කාත් එක්ක හරි එන්න. කොහොමත් රතු කුරුස සමාජය එහා පැත්තේ ඉඳීවි. ආමි එකට තනියම අහුවෙන විදිහට අන්තිම වෙනකම් ඉන්න එපා…” යැයි ඇය කීවාය. එක යෙහෙළියක් මඳක් ඈතින් වූ බංකරයකට දිව ගොස් සායක් සහ උඩු කමිසයක් රැගෙන ආවාය. “ඒක ඇතුළෙ තිබුණු සෙනඟගේ බඩු මලු අතරේ මේක විතරයි ඔයාගේ ගාණට තිබුණේ. මේක අඳින්න…” ඇය කීවාය. විනෝදිනී අසල පුපුරා පිළිස්සී ගොස් තිබූ රෝසා බස් රථය පිටුපසට ගොස් ඇඳුම් මාරු කළාය. උරහිසින් සහ ඉණෙන් කමිසය තද විය. එය තමාටත් වඩා වයසින් අඩු කවුදෝ කෙනෙකුගේය යන සිතුවිල්ල ශෝකයක් සේ වෙළා ගත්තේය. ගෙලේ එල්ලෙමින් තිබූ සයනයිඩ් කරල ගලවා විසිකළාය. වරක් මළගෙදරකදී තැල්ල ගැලවීමේ චාරිත්‍රයට නිලාමතී අක්කා බැනවැදුණු අයුරු කුමන හෝ හේතුවක් නිසා ඇයට සිහිවිය. “ස්වාමිපුරුෂයා ඉද්දි අපි ඒක දාගෙන ඉන්න ඕනෙලු… එයා ගියාට පස්සේ ඒක ගලවලා දාන්න ඕනෙලු… අපි අඳින ඇඳුමේ ඉඳලා ආභරණ වෙනකම්ම පිරිමින්ව පදනම් කරගෙන තමයි තීරණය කරලා තියෙන්නේ. මුලින්ම ව්‍යාපාරයේ විවාහවලදී කැමති නම් තැල්ල පාවිච්චි කරන්න පුළුවන් කියන එකත් තහනම් කරන්න ඕනේ… මේ තුච්ඡ සංස්කෘතිය සම්පූර්ණයෙන්ම ගොඩනඟලා තියෙන්නේ ශරීරය මුල් කරගෙනයි… නිකම්ම පස් වෙන ශරීරයක්.” දින දෙකකට පෙර නිලාමතී අක්කා බෝම්බ සවිකළ ජැකට්ටුව පුපුරුවාගෙන තම සිරුර තමන් විසින්ම අළු කරගත් බව වෝකී ටෝකියෙන් පණිවිඩයක් ආවේය.
විනෝදිනීගේ ඇඳුම ඇද සකස් කළ යෙහෙළිය “දැන් ඔක්කොම හරි… යාළිනී විනෝදිනී වෙලා…” යැයි තෘප්තියෙන් කීවාය. විනෝදිනී උපහාසාත්මක සිනහවක් පෑවාය. උරහිසටම කපා කොට කර තිබූ කෙස්රොද ඇඟිලිවලින් පීරුවාය. “යාළිනීට විනෝදිනී වෙන්න බෑ බං…” ඇය කීවාය. ගණපති සහ වල්ලියාල් අකුණක් වැදුණාක් මෙන් කම්පනයට පත් වූහ. ගෙන්දගම් පොළොවේ සිසිල් ශාකයක් මෙන් පැතිරී ගිය බලාපොරොත්තු විසිරී ගිලිහී ගියේය. ඇය යළිත් තමන්ට අහිමි වී යාවිය යන සිතුවිල්ල ගණපතිව වියරුවට පත් කළේය. හිස ගසා දමමින් නැගී සිටියේය. ආවේශ වූවකු මෙන් “නෑ… මම බේරගන්නවා… ඔයා එන්න දරුවෝ…” යැයි අතින් ඇද්දේය. ඔහු ඇදගෙන ගිය දිශාවට ඇය පියනැඟුවාය.
අඳුර වැටෙන්නට පටන් ගත් පසු ඔවුන්ට ඉදිරියට යාමට නොහැකි විය. වට්ටුවාකල්වලදී හමුදාවෙන් සෙනඟට වෙඩි තියනවලු…’ යැයි පැතිර ගිය කතාවෙන් තුෂ්නිම්භූතව සිටි සෙනඟ සමඟ ඔවුහුද නතර වූහ. ඇතැමුන් රහසින් ව්‍යාපාරයෙන් රෑට ප්‍රහාරයක් එල්ල කරලා කඩාගෙන යන්නලු යන්නේ. හෙට තමයි සෙනඟව නිදහස් කරන්නේ’ යැයි කොඳුරමින් සිටියහ.
අඳුර ගලා එන්නට පටන් ගෙන තිබිණි. ඉසෙයිනිලා බඩගින්නේ විලාප දුන්නාය. නන්දන් දුන් කිරිපිටි ටින් එක බෑගයේ තිබිණි. දියකර දෙන්නට හැදුවත් වතුර තිබුණේ නැත. ඈ බඩගින්න දරාගත නොහැකිව හැඬුවාය. කිරිපිටි ටිකක් ගෙන ඇයගේ කටේ දැමූ විට ඇය එය තුඃ තුඃ ගා කෙළ ගැසුවාය. කට දෙපැත්තෙන් සුදු පැහැ කෙළ ගලා යමින් තිබුණි. කිරිපිටි ටිකක් ඔලිණිලාගේ අල්ලේ දමා ලෙවකන්නට කීවාය. ඇය “තව ඕනේ… තව ඕනේ” යැයි හිඟන්නියක මෙන් අත දිගු කළාය. වෙල්ලෙයන්ට දැනුණේ තමන්ගේ පපුවෙන් ලේ බිංදු බිංදු වෑස්සෙන සේ කපා දමන්නාක් මෙනි. තවමත් ගෙන්දගම් ගඳ නොමැකී ගිය ඒ පොළොවේ කුසගින්න නිවාගන්නට කිසිවක් නොලැබෙන බව දැන දැනත් ඔහු වටපිට බලද්දී තමයි ඔහු ආවේ. “ඔබ පුලිවරියන් නේද…” යැයි පවසමින් මොවුන් අසලින් වාඩි විය.
වෙල්ලෙයන්ට ඔහුව හඳුනාගත නොහැකි විය. කැරලි ගැසුණු හිසකෙස්… කිලිටි වූ කලිසමක් සහ තද කොළ පැහැති යට කමිසයක් ඇඳ සිටියේය. ගෙලෙහි තවමත් සයනයිඩ් කරල තිබිණි. වෙල්ලෙයන් මීට පෙර තමන්ගේ කණ්ඩායමේ සිටි අයව මතක් කර ගැනීමට උත්සාහ කළේය. මතකයන් තැනින් තැන විසිරී තිබිණි. එයින් මිදී තමා ඉදිරියේ සිටි තැනැත්තා දෙස ප්‍රශ්නාර්ථයෙන් බැලුවේය.
‘ඉස්සර දවසක අලුතින් ආපු බිම්බෝම්බ ගැන පුහුණු වැඩමුළුවකදී ඔබවයි ඉනිතන්වයි හැමෝම මුල්ලියවලෙයිවලදී හම්බවෙලා තියෙනවා.. එදා මාස්ටර් ඔබ ගැන හොඳ කිව්වා. ඔබට මොළ දෙකක් තියෙනවා කියලා. යුද්ධයක් පටන්ගන්න යනවා නම් හමුදාව කොහේද හැංගෙන්නේ කියලා මුලින්ම ඔබේ හමුදා මොළය තීරණය කරනවා කියලත්… ඊටපස්සේ ඒ හැම තැනකම බිම්බෝම්බ වළලලා ඉවර කරන්න ව්‍යාපාරයේ මොළය කටයුතු කරනවා කියලත් කිව්වා… මතකද…’ ඔහු අවසන් වී ගිය ඒ අතීතය වෙත වෙල්ලෙයන්ව ද කැඳවාගෙන විත් ඒ මතකයන් තුළ මඳකට හෝ සැනසෙන්නට ඇති ආශාවෙන් ඇසුවේය.
වෙල්ලෙයන්ට ලබා දිය හැකි වූයේ හිස් බැල්මක් පමණි.
‘ළමයි කීදෙනෙක් ඉන්නවද? දෙන්නයි නේද…’ යැයි පවසමින් ඔලිණිලාගේ හිස අතගෑවේය. ඇය අල්ලේ කිරිපිටි දෝතින් දරාගෙන සිටිනු දුටු විට ඔහුගේ මුහුණ දැඩි විය. දිග කලිසමේ සාක්කුවල අතදමා ඉක්මනින් ඇවිස්සූ ඔහු, කලින් කඩා තිබූ ලෙමන් පෆ් බිස්කට් පැකට්ටුවක් ගෙන මුත්තු වෙත දිගු කළේය. “මා ළඟ මේක විතරයි ඉතුරු වෙලා තියෙන්නේ… මෙන්න… හෙට වෙනකම් පරිස්සම් කරගන්න…”
මුත්තුගේ අත වෙවුලන්නට විය. ‘ඔබට…?’ යැයි ඇය ඇසුවාය.
ඔහු බඩට තට්ටු කර ‘දැන් කෑම… අපරාදේ…’ යැයි කීවේය. තුවක්කුව කර තබාගෙන නැගී සිටියේය.
‘තවමත් ඇයි මේ මූසලකම තියාගෙන ඉන්නේ… කොහේ හරි විසික් කරලා දාලා එන්න… සෙනඟත් එක්කම සෙනඟක් විදිහට යන්න පුළුවන්.’
ඔහු ශෝකජනක සිනහවකින් යුතුව ඔලිණිලාගේ ඇලුණු කම්මුල් අතගෑවේය. ඇයගේ ඇඟිලි අල්ලාගෙන ‘අපි කිසිම වැරැද්දක් කළේ නෑ දුවේ… ඒත් ඔයාගෙන් එක පාරක් සමාව ඉල්ලන්න ඕනේ වගේ දැනෙනවා. මට සමාවෙන්න’ යැයි පවසා අඳුරේ නොපෙනී ගියේය.
ලේ රස්නය නොනිවී ගලා යන ශරීර අවයව ද, ලේ මිදී ගොස් දින ගණනක් පරණ වූ මළ සිරුරු ද දෙපා වල හැපිණි. වාතය පුරා පිරී තිබූ දුර්ගන්ධය සහ වෙඩි බෙහෙත් දුම නාසය හාරාගෙන ගියේය. තුවාල ලැබූ මිනිසුන් පාර අයිනේ සිරුර බිම අතුල්ලමින් පණුවන් මෙන් බඩගාගෙන ගියහ. ආයාචනා කරන්නාක් මෙන් දෑත් දිගු කර “අපිවත් එක්කගෙන යන්න” යැයි බැගෑපත් වූහ.
වෙල්ලෙයන් ආපසු හැරීවත් නොබලා දිව ගියේය. ඔහුට ඉදිරියෙන් ඔලිණිලාව ඔසවාගෙන දිව ගිය මුත්තුගේ සිරුර වෙහෙසට පත්වී වේගය බාල කළ සෑම විටම “දුවන්න… දුවන්න… තව ටික දුරයි” යැයි කියමින් එලෙව්වේය. හදිසියේම යම් පිපිරුම් හඬක් තනිව ඇසුණු සෑම විටම, මේක තමයි අන්තිම බෝම්බය…’ යන සිතුවිල්ල ඔහු පසුපසම හඹා ආවේය. සිංහල සෙබළකු ප්‍රථම වතාවට පණපිටින් දුටු මොහොතේ ඔවුහු දිවීම නතර කළහ.
18.05.2009
ඒ භූමිය තද කොළ පැහැයෙන් යුක්ත විය. ළමුන්ගේ හැඬුම් හඬ අතරේ හමුදා නිල ඇඳුම් එහාට මෙහාට සැරිසැරුවේය. විනාශයක අවසානයේ ශෝකය ගංවතුරක් සේ ගලා ගියේය. මිනිසුන් කොටුවූ තැන්වල රංචු පිටින් වාඩි වී සිටියහ. ඇතැමුන් නිමක් නැති ආකාසය දෙස හිස් බැල්මෙන් බලාගෙන වැටී සිටියහ. තවමත් පැමිණ නොමැති දරුවන්ගේ දෙමාපියන්ගේ දෑස් ඈතින් වරින් වර ඇසුණු තුවක්කු හඬින් සුදුමැලි වී ගියේය. සිතුවිලි පවා කවුරුන් හෝ රහසින් අසාවිද යන බියෙන් ගලක් මෙන් තුෂ්නිම්භූතව සිටියහ.
ගසක් යට මුත්තු ඉඩක් වෙන්කරගෙන සිටියාය. ඉසෙයිනිලා පිපාසයෙන් ගිජුව වතුර බී උකුලේම නිදාගත්තාය. පොහොර උරය සෙවණේ එළා ඇයව ඒ මත තැබුවාය. ඉතිරි වී තිබූ ලෙමන් පෆ් බිස්කට් දෙක ඔලිණිලාට කන්නට දුන්නාය. ඊයේ රාත්‍රියේ එය දුන් තැනැත්තාගේ මුහුණ දෑස් ඉදිරිපිටම මැවී පෙනිණි. එක්රොක් වී සිටි හිස්ගෙඩි අතරේ ඇය එක්වරක් ඔහුව සෙව්වාය. ඔහු ඇවිත් නැතුව ඇති කියා යටිසිත පැවසුවේය.
හමුදා භටයන් බත් පාර්සල් විසිකළහ. ගොදුරක් වෙනුවෙන් පොරකන කපුටන් මෙන් එක්රොක් වූ සෙනඟ අතරින් ගොස් පාර්සල් දෙකක් ගෙන ආ වෙල්ලෙයන්, බත් අනලා ඔලිණිලාට කවන්නට පටන් ගත් විට ශබ්ද විකාශන යන්ත්‍රයක් නාද විය.
‘කොටින්ගේ හිටපු අය ඔක්කොම වහාම භාර වෙන්න ඕනේ. අපි මුකුත් කරන්නේ නෑ… ඔයාලා එක දවසක් හරි කොටින්ගේ හිටියා නම් ඒක අපි දන්නවා… ඒ නිසා ඔයාලාම සරන්ඩර් වෙන්න…’
බත් අනමින් සිටි අත ගසා දැමුවේය. පාර්සලය මුත්තු වෙත තල්ලු කර “දරුවට කවන්න” යැයි පවසා පහත් වී ඉසෙයිනිලාගේ නළලට සෙමෙන් හාදුවක් දුන්නේය. ඇය එක්වරක් මුහුණ හකුළාගෙන යළිත් තද නින්දකට වැටුණාය. වෙව්ලන අතේ පිටුපසින් ඇයගේ කම්මුල අතගෑවේය. නින්දෙන්ම සිනාසුණාය. මරණය පිළිබඳ සිතුවිලි ඔහු තුළ ගින්නක් මෙන් ඇවිළී දැවෙන්නට පටන් ගත්තේය.
‘ඔයා යන්න එපා. දැන් ඔයා ව්‍යාපාරයේ නෑනේ… කවුරුවත් දන්නේ නෑ… අපිත් එක්කම ඉන්න…’ මුත්තු කාටවත් නොඇසෙන හඬින් හැඬුවාය. කඳුළු බිඳු බත් ඇට මත වැටී දියවී ගියේය. ඇය වෙල්ලෙයන්ගේ දෑත් තදින් අල්ලාගෙන සිටියාය. දෑස් ආයාචනා කළේය. කුමක් කළ යුතුදැයි නිශ්චිත තීරණයකට එළඹීමට වෙල්ලෙයන්ට නොහැකි විය. තැනින් තැන තරුණයන් සහ තරුණියන් නැඟී සිට ගොස් වෙන වෙනම සිට ගත්හ. ඒ පෝලිමේ ඔහු විනෝදිනීව ද දුටුවේය. ඒ අසලම ගණපති සහ වල්ලියාල් ද හඬමින් සිටියහ. අසලින් යන එන හමුදා සෙබළුන් සැමටම ගණපති යටහත් පහත්ව කුමක්දෝ කියන්නට උත්සාහ කරමින් සිටියේය. ඔවුන් එය කනකට නොගෙන යන්නට ගියහ. ඇතැමුන් ඉවසා සිටින්නැයි සංඥා කළහ. මුත්තු ද ඔවුන්ව දකින්නට ඇත. ඇය වෙල්ලෙයන්ට “කිසිදෙයක් ගැන හිතන්න එපා… මුලින්ම කන්න…” යැයි බත් පිඩක් කැව්වාය. ඔහුට වාවාගත නොහැකිව කඳුළු පිරී ආවේය. “දරුවන්ව පරිස්සමින් බලාගන්න…” යැයි බිම බලාගෙනම මිමිණුවේය. ඒ මොහොතේ බිම සෙවණැල්ලක් ඇදී ගියේය. හිස ඔසවා බැලුවේය. මද්දහන් අව්වේ රස්නයට දෑස් නිලංකාර විය. දෝතින්ම ගෙන වත්කළාක් බඳු දීප්තියෙන් ඒ රූපය ද සෙවණැල්ලක් සේ පෙනී ඉන්පසුව මිනිස් රුවක් බවට පත්විය. කවුදෝ කෙනෙක් සිනාසෙමින් සිටියේය.
‘ඔබ පුහුණුව ගත්තේ මාරන් බේස් එකේ නේද… මමත් එහේ තමයි… මාව අඳුරනවාද…’ යැයි ඇසුවේය. නිල ඇඳුමින් නොසිටියද හමුදාමය තේජාන්විත පෙනුමක් ඔහුට විය. ඇඳුමේ දූවිලි තැවරී තිබිණි. මිත්‍රශීලීව ‘ඔබේ ව්‍යාපාරයේ නම කදිරවන් නේද… මම කියන එක හරිද…’ යැයි තවදුරටත් කීවේය.
සැකයේ සෙවණැල්ලක් ගෝනුස්සකු මෙන් බඩගාන්නට පටන් ගත්තේය. වෙල්ලෙයන් ස්ථිර තීරණයකින් යුතුව නැගී සිටියේය. “නැහැ” යැයි පවසා භාර වූවන් සිටි දෙසට පියනඟන්නට විය.
ඔහු පෝලිමේ සිට බලන විට ඈතින් ඉසෙයිනිලාව තුවායකින් ඔතා උරහිසට හේත්තු කරගෙන මුත්තු සාමාන්‍ය ජනයාගේ පෝලිමේ සිටිනු පෙනිණි. ඔලිණිලා ඇයගේ කමිසය අල්ලාගෙන සිටියාය.
…
භාර වී සිටි අයගෙන් කාන්තා සටන්කාමීන්ව වෙනමම රැගෙන ගියහ. ගණපති ද විනෝදිනී සමඟම ගියේය. ඔහුව හරස් කර නැවැත්වූහ. “ඔහේලා අර පැත්තට යනවා… නංගි පස්සේ එයි…” යැයි සෙබළකු රළු හඬින් කීවේය. ගණපති ඔහුගේ අත අල්ලා ගත්තේය. මතකයේ ඉතුරු වී තිබූ සිංහලෙන් “මහත්තයා… පොඩි ළමයෙක් මහත්තයා… තනියම ඉන්න එකක් නෑ…” යැයි බැගෑපත් විය.
‘එතකොට කොටි එක්ක ඉද්දිත් ඔහේලා හිටියද…’ විහිළුවක් කළාක් මෙන් දත් සියල්ලම පෙනෙන්නට හමුදා භටයා ශබ්දනගා සිනාසුණේය.
‘ඒ නොදරු ළමයෙක් මහත්තයා… එයාව බලෙන් අල්ලගෙන ගියා.’
ඒ වනතුරුත් නිශ්ශබ්දව සිටි විනෝදිනී, ගණපති එසේ කී විට එක්වරම හිස ඔසවා, ‘නැහැ, ඒ බොරුනේ’ කියන්නාක් මෙන් පියා දෙස බැලුවාය. දෑස් තත්පරයකට එහා මෙහා දිව ගියේය. ඉන්පසු ඒ වේගයෙන්ම හිස නමා ගත්තාය. පෝලිම සෙමින් සෙමින් ඉදිරියට ඇදී ගියේය.
‘හරි හරි යන්න යන්න. ඒකා එයි…’ කියා විනෝදිනීට තනියම යන ලෙසට සංඥා කළහ. මඳක් ඈතින් ඇයට සමාන්තරවම ගමන් කරමින් සිටි ගණපති, ඇය ශරීර පරීක්ෂා කරන කුටියට ඇතුළු වන මොහොතේ “දරුවෝ… ලොකු මහත්තයා අහනකොට ඔයාව බලෙන්මයි අල්ලගෙන ගියේ කියලා අමතක නොකර කියන්න දරුවෝ…” යැයි කෑගැසුවේය.
ශරීර පරීක්ෂාව අවසන් වූවන්ව රතු පැහැති බස් රථවලට නැංවූහ. වෙනත් කිසිවකුටත් ඇතුළු විය නොහැකි ලෙස ඒ ප්‍රදේශය අවහිර කර තිබිණි. මෙහි සිටි අය අසරණව කෑගැසූහ. එක් මහලු මවක් “අම්මාලාච්චි මෑණියනේ… එයාව ආයෙත් මගේ ළඟට එකතු කරන්නේ ඔබමයි” කියමින් හැඬුවාය. ගණපති විනෝදිනීව හඳුනා ගත්තේය. රතු පැහැති සී.ටී.බී. බස් රථයකට නඟින මාර්ගයට යාබද අසුනේ කවුළුව අසල ඇය සහ තවත් කුඩා දැරියක් සිටියහ. දැරිය අඬමින් සිටියාය. දෙදෙනාගේම මැණික්කටු ඉදිරිපස තිබූ යකඩ බටයට තබා මාංචු දමා බැඳ තිබිණි. බස් රථය සෙමින් ඉදිරියට ඇදී හැරුණේය. දියණියගේ අවධානය දිනාගැනීමට ගණපති අනුකම්පා සහගත ලෙස අත් වැනුවේය. “දරුවෝ… විනෝදිනී…” යැයි කෑගැසුවේය. ඒ ප්‍රදේශය පුරාම පැතිරී තිබූ අක්කා… නැන්දා… අයියා… මාමා…’ යන විලාප හඬවල් අතරේ ඔහුගේ හඬ ද යටපත්ව ගියේය. බස් රථය වේගවත් විය.
ඉන්පසුව ගණපති කිසිදිනෙක දියණියව දුටුවේ නැත.
Discover more from සාක්ෂිය
Subscribe to get the latest posts sent to your email.
